
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අසිත නිරෝෂන සහ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද (02) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
කඩුවෙල මහ නගර සභාවේ සමගි ජන බලවේගයේ හිටපු නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
ඒ අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයට අයත් භූමියක් බලහත්කාරයෙන් අත්කරගෙන ඇති බවට වන චෝදනාවට අදාළවය.
අතුරුගිරියේ මෙට්‍රෝ බස් රථගාල ඉකුත් සැප්තැම්බර් 29 වැනිදා විවෘත කෙරුණේ, ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂන හා කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.
පර්චස් 100ක භූමියක් වන එය සුද්ද පවිත්‍ර කිරීම පසුගිය 26 වැනිදා සිදුකර තිබුණි.
එම ඉඩම අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයට අයත් බවත් මෙම මන්ත්‍රිවරු එම භූමිය බලහත්කාරයෙන් ලබාගෙන ඇති බවත් එම නිවාස සංකීර්ණයේ පාලනාධිකාරිය පසුව චෝදනා කළේය.
ඔවුන් මේ සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසියට පැමිණිල්ලක් කර තිබූ අතර පසුගිය 30 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂන හා කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් යන මහත්වරුන් අතුරුගිරිය පොලිසියට කැඳවා තිබුණේ ඒ අනුවය.





















































