අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ වෙඩික්කරුවෙකු සැඟවී සිටි නිවසක හිමිකරු අත්අඩංගුවට
February 26, 2026 07:35 pm
අකුරේගොඩදී නීතීඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මොනරාගල ප්‍රදේශයේ සැඟවී සිටි බව කියන වෙඩික්කරුට නවාතැන් ලබා දුන් නිවසේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇත.
අද (26) පස්වරුවේ ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි.
මොනරාගල පොලිසිය විසින් මැදගම, නන්නපුරාව, දිවියාපොල ප්‍රදේශයේ පිහිටි නිවසකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන සඳහා ඔහු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය වෙත භාරදීමට නියමිත බව වාර්තා වේ.
මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් මොනරාගලදී ඊයේ අත්අඩංගුවට ගත් වෙඩික්කරු පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ කොට්ඨාසය කටයුතු කර තිබේ.
ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ, ඝාතනයට ලක්වූ නීතීඥවරයා සැකකරුගේ නඩු දෙකක් සඳහා පෙනී සිට ඇති බවයි. එබැවින්, අකුරේගොඩට පැමිණි අවස්ථාවේදී සැකකරු අනෙක් වෙඩික්කරුට “බුද්ධික මගේ නඩු දෙකට පෙනී හිටපු නිසා මාව අඳුරනවා” යනුවෙන් පවසා ඇති බවද වාර්තා වේ.
අනතුරුව, වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය පසෙක නවතා, නීතීඥවරයා ආසන්නයට පැමිණීමෙන් පසුව වෙඩි තබා ඝාතනය කළ බවද සැකකරු පවසා ඇති බව සඳහන්ය.
තවද, බූස්ස බන්ධනාගාරයෙ හි හිටපු අධිකාරී සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරීම සඳහා “කරන්දෙණියේ සුද්දා” නමැති පුද්ගලයෙකුගේ උපදෙස් මත තමන් වෙඩි තැබූ බවද සැකකරු ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
එම අවස්ථාවේ “ලලා” නමැති තවත් වෙඩික්කරුවෙකු සමඟ ගිය බවත්, ධම්මික මහතාට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කළේ තමන් බවත් ඔහු පවසා ඇත.
එමෙන්ම, දකුණු පළාතේ සිදු වූ ත්‍රිත්ව ඝාතනයක් සම්බන්ධයෙන්ද තමන් සම්බන්ධ වූ බවට සැකකරු හෙළිකර ඇතැයි වාර්තා වේ.
මේ අතර, ප්‍රහාරයට පෙර පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලක් වෙත සැකකරු පැමිණෙන අයුරු දැක්වෙන සීසීටීවී දර්ශන පෙළක්ද ලැබී ඇත. එම දර්ශනවල දැක්වෙන්නේ, මීට පෙර පොලිසිය විසින් අත්අඩංගුවට ගත් “ජානක” නමැති පුද්ගලයා විසින් සැකකරු අදාළ ස්ථානයට රැගෙන එන අයුරුය.
