දොඹකරයේ රියදුරු රිමාන්ඩ් - අයිතිකරුට ඇප

දොඹකරයේ රියදුරු රිමාන්ඩ් - අයිතිකරුට ඇප

July 29, 2025   01:56 pm

ඊයේ දින බොරැල්ල ප්‍රදේශයේ සිදුවූ මාරක රිය අනතුරු සිද්ධියට සම්බන්ධ දොඹකරයේ රියදුරු ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ රථවාහන මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

එම සිද්ධියට සම්බන්ධ දොඹකරයේ හිමිකරු රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැරීමටත් එම අධිකරණය විසින් නියම කරනු ලැබීය.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බොරැල්ල පොලීසියේ නිලධාරීන් හා විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ රථවාහන මහෙස්ත්‍රාත් එම්.එන්. රිස්වාන් මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේය.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දක්වූ බොරැල්ල පොලීසියේ නිලධාරීන් ඊයේ පෙරවරු 8.45ට පමණ බොරැල්ල කනත්ත වටරවම ආසන්නයේ සිදුවූ මෙම මාරක රිය අනතුර හේතුවෙන් එක් පුද්ගලයකු මියගොස් තවත් පුද්ගලයින් හත් දෙනකු බරපතළ තුවාල ලබා තිබෙන බව සඳහන් කළේය. 

ඊට අමතරව යතුරු පැදි 06කට සහ කාර් රථ දෙකකට හානි සිදුවූ බවත් ඔහු කියා සිටියේය.

තුවාල ලබා සිටින පිරිස් අතර පොලිස් නිලධාරින් දෙදෙනෙකු හා අල්ලස් කොමිසමට අනුයුක්ත පොලීසිය නිලධාරියකුත්  සිටින බව පොලීසිය ප්‍රකාශ කළේය. 

තුවාලකරුවන් හතර දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් ඔවුන් පැවසුවේය. 

මෙම රථය පැදවූ සැකකාර රියදුරු ගංජා මත්ද්‍රව්‍ය පානය කර ඇති බවට කොළඹ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරියා ඉදිරිපත් කළ වාර්තාවක සඳහන්ව තිබෙන බවත් පොලීසිය අධිකරණයට කරුණු පෙන්වා දුන්නේය. 

මෙම රථයේ ඇන්ජිම පණ ගන්වන ස්විච්චය පමණක් ක්‍රියාත්මකව පැවති බවත් ඇන්ජිම අක්‍රීය කරන ස්විච්චය ක්‍රියාත්මක නොවූ බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

අධික ලෙස රත්වීම නිසා තිරිංග ක්‍රියා විරහිත තත්ත්වයට පත්වන බව දැන දැනම මෙම රියදුරු අදාළ රථය මාර්ගයේ ධාවනය කර ඇති බවත් මීටර් දෙසීයක පමණ දුරක් තිරිංග ක්‍රියාකාරිත්වයකින් තොරව ධාවනය වී ඇති බව විමර්ශනවලින් කරුණු අනාවරණය වී ඇති බවත් පොලීසිය පැවසූවේය. 

මෙම රථය රජයේ මෝටර් රථ පරීක්ෂකාවරයා විසින් පරීක්ෂාවට ලක් කළ අතර එහි අත් තිරිංග අක්‍රිය තත්ත්වයක පවතින බවට හෙළි වී ඇති අතර තිරිංගවල තෙල් පවා නොතිබී ඇති බවට විමර්ශනවලදී අනාවරණය වූ බවත් පොලීසිය සඳහන් කර සිටියේය.

මෙම වාහනයෙන් තිරිංග ක්‍රියාත්මක නොවන බව දැන දැනම රියදුරු අදාළ වාහනය ධාවනය කර තිබෙන බවත් ඔහු අනතුර සිදුවන්නට ගිය අවස්ථාවේ වම් පැත්තට හරවා කනත්ත තුළට මෙම රථය රැගෙන ගියා නම් සිදුවූ මේ අවාසනාවන්ත සිද්ධිය වළක්වා ගැනීමට හැකිව තිබූ බවත් පොලීසිය වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය. 

මෙම රථයේ හිමිකරු ද අදාළ වාහනය නිසි පරිදි නඩත්තු කර නොමැති බව විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බව පොලීසිය පැවසුවේය. 

මෝටර් රථ වාහන පනතේ 169 වන වගන්තියට අනුව මෙවැනි වාහනයක් ධාවනය කරන රියදුරෙකු පැය 8-12  අතර කාලයක් එම ධාවනයේ යෙදෙන්නේ නම් ඊට පෙර පැය දහයක විවේකයක් ලබාදිය යුතු බව සඳහන්ව තිබුණත් අදාළ රථයේ හිමිකරු විසින් රියදුරුට එවැනි විවේකයක් ලබාදී නොමැති බව විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි කියා සිටි පොලීසිය මෙම රථය ධාවනය කරන අවස්ථාවේ ඔහු දැඩි තෙහෙට්ටුවකින් හා මානසික අයෝග්‍යතාවයකින් පෙළුනු බවත් කියා සිටියේය.

මෙම රථයට අංක තහඩුවක් පවා නොතිබූ අතර එහි අංකය කඩදාසියක ලියා සවිකර තිබූ බවත් ඒ සම්බන්ධයෙනුත් වැඩිදුර විමර්ශන සිදුකරන බවත් පොලීසිය වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ කටයුතු අවසන් කර නොමැති බැවින් සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් පොලීසිය වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය. 

විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් සැකකාර රියදුරු කඩුවෙල දෙස සිට කිලෝමීටර් දහයක් පමණ කිසිදු ආබාධයකින් තොරව මෙම රථය ධාවනය කර තිබෙන බව පැවසුවේය. 

හදිසියේ තිරිංග අක්‍රියවීම ඔහුගේ පාලනයෙන් තොර කටයුත්තක් බවත් ඔහුට මෙවැනි වාහනයක් පැදවීමට අවශ්‍ය කරන යෝග්‍යතා සහතික තිබෙන බව සඳහන් කළ එම නීතිඥවරයා අදාළ ලේඛනයද අධිකරණයට ඉදිරිපත් කළේය. 

අදාළ රථය පැදවූ අවස්ථාවේදී සැකකරු ගංජා පානය කර සිටි බවට පොලීසිය ප්‍රකාශ කළත් එවැනි ද්‍රව්‍යයක් ඔහු විසින් පානය කර තිබෙන්නේ දින හතරකට කලින් බවත් නීතිඥවරයා පැවසුවේය.

අදාළ වාහනය පදවන අවස්ථාවේ ඔහු කිසිදු මත්ද්‍රව්‍යක් පානය කර නොසිටි බව නීතිඥවරයා කියා සිටියේය.

ඔහු තමන්ට හැකි ආකාරයට හානිය අවම කර ගැනීමට උත්සාහ කර ඇති බවත් නීතිඥවරයා පෙන්වා දුන්නේය.

මෙම රථයේ හිමිකරුට එම රථයට අදාළව යෝග්‍යතා සහතිකයක් තිබෙන බවත් එම රථය භාවිත කිරීමට සුදුසු මට්ටමක පවතින බව එම වාර්තාව තුළින් දක්වා තිබෙන බවත් නීතිඥවරයා පැවසුවේය. 

මෙය චේතනාවිතව සිදුකළ අපරාධක ක්‍රියාවක් නොවන බව පැවසූ විත්තියේ නීතිඥවරු තම සේවාදායකයින් දෙදෙනා ඈපමත මුදාහරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

තම සේවාදායකයින් විසින් මියගිය පුද්ගලයා වෙනුවෙන් සානුකම්පිත දීමනාවක් ගෙවීමට සූදානම් බවත් විත්තියේ නීතිඥවරු අධිකරණය හමුවේ සඳහන් කර සිටියේය.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සැකකාර රියදුරු ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියම කළේය. 

කෙසේ වෙතත් අදාළ රථයේ හිමිකරු ඇපමත මුදා හැරීමටද අධිකරණය නියම කළේය.