ඔක්කම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට

ඔක්කම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට

July 29, 2025   07:05 pm

ඔක්කම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරු අද (29) පස්වරු 5.07ට පමණ මාලිගාවිල - මොනරාගල මාර්ගයේ වීරගස් හංදිය අසල දී අත්අඩංගුවට ගෙන ඇත.

ඔක්කම්පිටිය ගාමිණීපුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව සැකකාර පොලිස් පක්ෂකවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂණ් සභාවේ විමර්ශන නිලධාරීන් විසින්ය.

අදාළ පැමිණිලිකරු විසින් ඔක්කම්පිටිය ප්‍රදේශයේ පවත්වා ගෙන යනු ලබන වැලි ව්‍යාපාරය කරදරයකින් තොරව පවත්වා ගෙන යාමට හා වැලි කැණීම් කරන ස්ථානයේ සිට ගබඩාවට ට්‍රැක්ටර් මගින් වැලි ප්‍රවාහනය සිදු කරනු ලබන අවස්ථාවන් හි දී නීති මගින් කටයුතු නොකර සිටීම සඳහා මාසිකව රුපියල් 50,000/-ක මුදලක් බැගින් ඉල්ලා, අවස්ථා ගණනාවක දී රුපියල් 47,000/-ක මුදලක් ඉල්ලා ලබා ගෙන නැවත ඉහත පරිදි කටයුතු කර දීම සඳහා සැකකරු විසින් අලුතින් ඉදිකරනු ලබන නිවසේ වැඩ කටයුතු සඳහා වැලි කියුබ් 03ක් හෝ එහි වටිනාකම වන රුපියල් 45,000/-ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා එකී මුදල රුපියල් 40,000/- දක්වා අඩුකර ලබා ගැනීමේ දී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.