චීන අමෙරිකා තීරු බදු සඳහා යළි තාවකාලික එකඟතාවක්
July 30, 2025 11:35 am
මතභේදයට තුඩු දී තිබෙන චීන-අමෙරිකා අන්‍යෝන්‍ය තීරු බදු සඳහා යළි තාවකාලික එකඟතාවකට පැමිණීමට දෙපාර්ශ්වය තීරණය කර තිබේ.
ඒ පසුගිය දෙදින තුළ චීන-අමෙරිකා දෙපාර්ශ්වයේ නියෝජිතයින් අතර ස්වීඩනයේ පැවති සාකච්ඡාවලින් අනතුරුවයි.
එහිදී එළඹුණු එකඟතාවන්ට අනුව දැනට තාවකාලිකව අත්හිටුවා තිබෙන ඇමරිකාවේ 24%ක අන්‍යෝන්‍ය තීරුබදු මෙන්ම චීනයේ ප්‍රතිචාරය ද තවත් දින 90ක් දක්වා දීර්ඝ කිරීමට දෙපාර්ශ්වය එකඟත්වය පළ කර තිබේ.
චීන-අමෙරිකා ආර්ථික හා වෙළඳ කටයුතු සඳහා වන චීන පාර්ශ්වයේ ප්‍රධානී, උප අග්‍රාමාත්‍ය He Lifeng මහතා, අමෙරිකා පාර්ශ්වයේ ප්‍රධානී, භාණ්ඩාගාර ලේකම් Scott Bessent මහතා හා වෙළඳ නියෝජිත Jamieson Greer මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡා පැවැත්විණි.
මෙහිදී චීන ඇමරිකා ආර්ථික හා වෙළඳ සබඳතාව, සාර්ව ප්‍රතිපත්ති ඇතුළු පොදු අවධානයට ලක්වන ගැටලු පිළිබඳව ද දෙපාර්ශ්වය අතර සාකච්ඡා පවත්වා ඇත.
දෙරටේ නායකයන් පසුගිය ජූනි මස දී දුරකථන සංවාද ඔස්සේ ඇතිකර ගත් එකඟතාවන්ට අනුව දෙපාර්ශ්වය එකිනෙකාගේ අවශ්‍යතාවන්ට ගරු කරමින් කටයුතු කළ යුතු බව He Lifeng මහතා එහිදී අවධාරණය කර තිබේ.
ස්ථාවර, විධිමත් මෙන්ම තිරසර චීන-අමෙරිකා ආර්ථික හා වෙළඳ සබඳතාව, එකිනෙකාගේ සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කිරීමට පමණක් නොව ලෝක ආර්ථික සංවර්ධනය හා ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීමට ද උපකාරී වන බව එහිදී ඔහු වැඩිදුරටත් පවසා ඇත.
ඉදිරියේ දී චීන-අමෙරිකා ආර්ථික හා වෙළඳ සාකච්ඡා යාන්ත්‍රණය මනා ලෙස යොදා ගනිමින්, එකඟතාවන් ප්‍රවර්ධනය කිරීමටත් වැරදි අවබෝධයන් අවම කිරීමටත් සහයෝගිතා ශක්තිමත් කිරීමටත් අපේක්ෂා කරන බව He Lifeng මහතා එහිදී අවධාරණය කළේය.
මේ අතර මෙහිදී අදහස් දක්වමින් ඇමරිකානු පාර්ශ්වය දැනුම් දී ඇත්තේ ආර්ථික හා වෙළඳ සාකච්ඡා යාන්ත්‍රණය ඔස්සේ අදාල භේද විසඳා ගනිමින් වඩාත් වැඩි ප්‍රතිඵල අත්පත් කර ගැනීමේ අරමුණින් දෙරටේ ආර්ථක හා වෙළඳ සබඳතාව තහවුරු කිරීම සඳහා ඇමරිකාව චීනය සමග එක්ව උත්සාහ දැරීමට කැමැත්තෙන් සිටින බවය.