ජපන් රැකියාලාභීන්ගේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට පියවර

ජපන් රැකියාලාභීන්ගේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට පියවර

July 29, 2025   01:37 pm

ජපානයේ රැකියා සඳහා යොමුවීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින්ගේ භාෂා හැකියාව හා පුහුණු කටයුතු වැඩිදියුණු කිරීම තුළින් රැකියා අපේක්ෂිතයින්ගේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ.

ඒ සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගනිමින් සිටින බව එම කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක මහතා ප්‍රකාශ කළේය.

මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරය නිරතවන IM Japan ආයතයේ සභාපති කිමුරා හිසයොෂි හා එහි කළමනාකරණ අධ්‍යක්ෂක ෆුකගාවා මසහිකෝ යන මහත්වරුන් ඊයේ (28) කාර්යාංශයේ ඉහළ කළමනාකාරීත්වයේ නිලධාරීන් හමුවූ අතර, එහිදී සේනානායක මහතා මේ අදහස් පවසා තිබේ.

ශ්‍රී ලාංකිකයින්ට ජපානයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ ඉහළ ඉල්ලුමක් පවතින බැවින්, සාත්තු සේවා පුහුණුලාභීන් ප්‍රමාණය වැඩි කිරීම සුදුසු බව IM Japan ආයතනයේ සභාපතිවරයා මෙහිදී ප්‍රකාශ කළ අතර, ඒ සඳහා පුහුණු සංචිතයක් පවත්වාගෙන යාම සුදුසු බව වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

එසේම විශේෂ නිපුණතා සහිත රැකියා (SSW) සඳහා කුසලතා පරීක්ෂණයට අදාළ ඉගැන්වීමේ කටයුතු කාර්යාංශය හරහා සිදුකිරීමට IM Japan ආයතනයේ සහාය ලබාදීමටද කිමුරා මහතා මෙහිදී එකඟතාවය පළකර තිබේ.

එසේම මෙම වැඩසටහන පිළිබඳ තොරතුරු හා එහි වටිනාකම පිළිබඳ ජ්‍යෙෂ්ඨ පුහුණුලාභීන් හරහා නව රැකියාලාභීන් වෙත ලබාදී ඒ මඟින් මෙම වැඩසටහනට යොමු වන අයදුම්කරුවන් ප්‍රමාණය වැඩිකර ගැනීමට හැකියාව පවතින බවත් දැනටමත් වැඩිපිරිසක් ජ්‍යෙෂ්ඨ පුහුණුලාභීන්ගේ සහ ශ්‍රමිකයන්ගේ අනුදැනුම මත මෙම වැඩසටහන සඳහා සහභාගී වී ඇති බවත් කාර්යාංශ සාමාන්‍යාධිකාරීවරයා ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවේදී ඊයේ දින තාක්ෂණික සේවාස්ථ පුහුණුලාභීන් ලෙස ජපානය බලා පිටත්ව ගිය පුහුණුලාභීන් 12 දෙනෙකු සඳහා සහ විශේෂ නිපුණතා සහිත ශ්‍රමික වැඩසටහන යටතේ අගෝස්තු 03 දින විදේශ ගතවීමට නියමිත රැකියාලාභීන් 8 දෙනෙකු සඳහා ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීමද සිදුවිය. 

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා IM Japan ආයතනය අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රී ලාංකිකයින්ට මෙම රැකියා අවස්ථා හිමිවන අතර, මෙම රැකියා වැඩසටහන යටතේ තාක්ෂණික සේවාස්ථ පුහුණුලාභීන් ලෙස 600 දෙනෙකු හා විශේෂ නිපුණතා සහිත රැකියා වැඩසටහන යටතේ 51 දෙනෙකු සඳහා රැකියා අවස්ථා හිමිවී තිබේ.