පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනයට සහයෝගය දෙන්න - සජිත්
February 11, 2025 09:12 pm
පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනයට සහයෝගය දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්විස්ටර්ලන්ත තානාපතිනියගෙන් ඉල්ලා තිබේ.
ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය සිරි වෝල්ට් මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී සාකච්ඡාවක් අද (11) කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදුවිය.
එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ස්විට්සර්ලන්ත තානාපතිනිය හමුවේ කියා සිටියේ මෙරට තුළ පුනර්ජනනීය බලශක්ති උත්පාදන ව්‍යාපෘති සඳහා ස්විස්ටර්ලන්ත රජයෙන් ලබා දිය හැකි උපරිම උදව් උපකාර ආදිය ලබා දෙන ලෙසය.
පසුගිය සති අන්තයේ ශ්‍රී ලංකාවේ සිදුවූ විදුලි ඇනහිටීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ පසුගිය කාලය පුරාම පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස තමා ඇතුළු පිරිස දිගින් දිගටම රජයට යෝජනා කර සිටි බවය.
එමෙන්ම විදුලි පරිභෝජනය සහ බලශක්ති උත්පාදනය හේතුවෙන් ඇති වූ පද්ධති අසමතුලිතතාවයන් මෙම විදුලිය ඇනහිටීමට හේතු වූ බව පැහැදිලි කළේය.
පරිපාලනය නොසලකා හැර ඇති තීරණාත්මක යටිතල පහසුකම් වන බැටරි බලශක්ති ගබඩා පද්ධති (BESS) සහ පොම්ප කරන ලද ගබඩා බලාගාර (PSPP) සඳහා හදිසි අවශ්‍යතාවය ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී අවධාරණය කළේය.
එබැවින් විදුලි කප්පාදුවෙන් තොරව ජනතාවට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීමට කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගු කාලීන පියවර ගැනීම රජය කඩිනමින් සිදු කළ යුතු බවත් ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්විස්ටර්ලන්ත තානාපතිනියගෙන් ඉල්ලා සිටියේය.