ඥානසාර හිමිගේ පෙත්සමකට විරෝධතා ඉදිරිපත් කිරීමට කල් දෙයි
February 11, 2025 07:51 pm
මාස 09 ක ලිහිල් සිරදඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන ප්‍රතිශෝධන පෙත්සමට විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කොළඹ මහාධිකරණය නීතිපතිවරයාට කල් ලබා දී තිබේ.
2016 වසරේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පළ කරන ලද අදහස් වලින් ඉස්ලාම් දහමට අපහාසයක් සිදු කළ බව පැවසෙන චෝදනාවට වරදකරු වීම හේතුවෙන් ඥානසාර හිමිට මාස 09 ක ලිහිල් සිරදඬුවම් නියමකර කළේය.
මෙම පෙත්සම අද(11) කොළඹ මහාධිකරණ විනිසුරු මාපා බණ්ඩාර මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
එම අවස්ථාවේදී පෙත්සම්කාර ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ගාමිණී අල්විස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයේ විභාගය සඳහා දිනයක් නියම කරන ලෙස ඉල්ලා සිටියේය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා සඳහන් කළේ මෙම නඩුකරයට අදාළව විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබා දන ලෙසය.
ඒ අනුව නඩුකරයට අදාල විරෝධතා පවතී නම් නම් ඒවා මේ මස 25 වන දා ගොනු කරන ලෙස නීතිපතිවරයාට නියම කර ඇත.
2016 වසරේ ජූලි මස 08 වනදා කිරුළපන ප්‍රදේශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී "ඉස්ලාමය පිළිකාවක්.. එය අතුගා දමන්න ඕනේ." යනුවෙන් ප්‍රකාශ කිරීම තුළින් ජාතීන් අතර සංහිඳියාව උල්ලංගනය වන ආකාරයෙන් කටයුතු කළ බවට චෝදනා කරමින් දණ්ඩ නීති සංග්‍රහයේ 291(අ) වගන්තිය යටතේ පොලිසිය විසින් ඥානසාර හිමියන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණි.
එම නඩුවට වරදකරු කෙරුණු ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් පසුගිය දා ලිහිල් වැඩ සහිත මාස 09 ක සිරදඬුවම් නියම කළේය.
එම දඬුවමෙන් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා ඥානසාර හිමියන් මෙම ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කර තිබේ.