මියගිය පොලිස් නිලධාරියාට උසස්වීමක්

මියගිය පොලිස් නිලධාරියාට උසස්වීමක්

February 12, 2024   05:27 pm

සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා යාමේ දී වෙඩිවැදී රෝහල්ගතව සිටියදී මියගිය පොලිස් සැරයන්වරයාව උප පොලිස් පරීක්ෂක නිලයට උසස් කර තිබේ.

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් මෙම තීරණය ගෙන ඇත.

එම නිලධාරියා මල්වතුහිරිපිටිය පොලිස් වසමේ බටේපොළ ප්‍රදේශයේ දී සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා යාමේ දී වෙඩිවැදී කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (11) මියගොස් තිබුණි.

පසුගිය සෙනසුරාදා අලුයම් කාලයේ මල්වතුහිරිපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඇති වු ගැටුම්කාරී තත්ත්වයක් හේතුවෙන් අදාළ සැකකරු පොලිස් නිලධාරියාගේ ගිනිඅවිය උඳුරා ගැනීමට උත්සාහ කර තිබේ.

එහිදී ගිනිඅවිය ක්‍රියාත්මක වීම හේතුවෙන් පොලිස් නිලධාරියාට වෙඩි වැදීමත් සමග සැකකරු රාජකාරී ගිනිඅවියද රැගෙන පළා ගොස් ඇති බව සඳහන්ය.

වෙඩි වැදීමෙන් තුවාල ලැබු පොලිස් නිලධාරියා ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහළට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.

එහිදී මෙම පොලිස් සැරයන්වරයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔහු 51 හැවිරිදි ඉහළ ලුනුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.