ඔලිම්පික් උලෙළ අති උත්කර්ෂවත් ව ඇරඹෙයි

ඔලිම්පික් උලෙළ අති උත්කර්ෂවත් ව ඇරඹෙයි

July 27, 2024   10:31 am

විශ්වයේ මහා ක්‍රීඩා සැණකෙලිය ලෙසින් හැඳින්වෙන ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ 33 වැනි දිගහැරුම ප්‍රංශයේ පැරිස් නුවරදී අද (27) අළුයම නිල වශයෙන් ආරම්භ විය.

ඔලිම්පික් සම්ප්‍රදායන් අතික්‍රමණය කරමින් ඉතිහාසයේ පළමු වරට ක්‍රීඩාංගණයකින් පිටත දී ඔලිම්පික් උලෙළේ සමාරම්භක උත්සවය පැවැත්වීමට පැරිස් ඔලිම්පික් සංවිධායකයින් කටයුතු කර තිබුණි.

ඒ අනුව පැරිස් ඔලිම්පික් උලෙළේ සමාරම්භක උත්සවය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුණේ පැරිස් නුවර සේන් නදිය කේන්ද්‍ර කරගනිමිනි.

ඔලිම්පික් උලෙළක් ප්‍රංශයේදී පැවැත්වෙන තුන්වන අවස්ථාව මෙය වන අතර ප්‍රංශයේ දී ඔලිම්පික් උලෙළක් පැවැත්වෙන්නේ සියවසකට පසුව වීම විශේෂත්වයකි.

පැරිස් නුවර සේන් නදිය කේන්ද්‍ර කරගනිමින් පැවති පැරිස් ඔලිම්පික් උලෙළේ සමාරම්භක උත්සවය නැරඹීම සඳහා ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් ඇතුළු රාජ්‍ය නායකයින් කිහිපදෙනෙක් මෙන්ම තවත් සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටයේ ය.

රටවල් 206ක් නියෝජනය කරමින්, ක්‍රීඩා 32කට අදාළ, තරග ඉසව් 329කට සහභාගිවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10,714 දෙනෙක් සමගින් නිලධාරීන් සමාරම්භක උලෙළේ දී සේන් නදියේ ගමන් ගත්තේ ෆෙරී යාත්‍රා සහ බෝට්ටු යොදාගනිමිනි.

මෙවර ඔලිම්පික් සමාරම්භක උලෙළේදීත් සාම්ප්‍රදායිකව ප්‍රථමයෙන් ගමන් ගත්තේ ග්‍රීසිය නියෝජනය කරන ඔලිම්පික් කණ්ඩායමයි.

අනතුරුව ඔලිම්පික් ධජය යටතේ සහභාගීවන සරණාගත ඔලිම්පික් කණ්ඩායම සහ අනෙකුත් කණ්ඩායම සේන් නදිය ඔස්සේ සමාරම්භක උලෙළට එක්විය.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමාරම්භක උලෙළේ ගමන් ගන්නා අතරතුර විචිත්‍රවත් ගායන මෙන්ම නර්ථනාංග රැසකින්ද පැරිස් ඔලිම්පිම් සමාරම්භක උලෙළ වර්ණවත් විය.

ඒ අතරට සුප්‍රසිද්ධ ගායිකාවන්වන ලේඩි ගාගාගේ ගායනයක්ද ඇතුළත්ව තිබුණි.

නර්ථනාංග අතරින් බොහොමයක් ප්‍රංශයේ ඉතිහාසය සහ සංස්කෘතිය විදහා දැක්වෙන අයුරින් සකස් කර තිබුණි.

මෙවර ඔලිම්පික් සමාරම්භක උලෙළේ දී  ජෝර්ජියාවේ ධජය රැගෙන යනු ලැබුවේ සුවිශේෂී ක්‍රීඩිකාවක් විසිනි.

ඒ 55 හැවිරිදි ඉලක්කයට වෙඩි තැබීමේ ක්‍රීඩිකා නිනෝ සලුක්වාඩ්සේයි විසිනි.

ඇය 1988 සිට අඛණ්ඩව ඔලිම්පික් උලෙළ 9කට සහභාගී වී ඔලිම්පික් පදක්කම් 3ක් ජයගෙන ඇති අතර ඇය මෙවර සහභාගී වන්නේ සිය 10 වැනි ඔලිම්පික් උලෙළටය.

රටවල් 176කට පසු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම ඔලිම්පික් සමාරම්භක උලෙළට එක්විය.

එහිදී ශ්‍රී ලංකා ධජය රැගෙන ගියේ 20 හැවිරිදි බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ සහ කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්ව නියෝජනය කරන මලල ක්‍රීඩිකා නදීෂා ලේකම්ගේය.

මෙවර ඔලිම්පික් උලෙළේ වැඩිම ක්‍රීඩක ක්‍රීඩිකා නියෝජනයක් සහිත රට වූයේ අමෙරිකා එක්සත් ජනපදයයි.

අමෙරිකා එක්සත් ජනපදයෙන් පැරිස් ඔලිම්පික් උලෙළ ට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 594 දෙනෙක් සහභාගී වෙයි.

දෙවන වැඩිම නියෝජනය ලෙසින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 572ක් සමගින් අවසාන වශයෙන් සමාරම්භක උලෙළ ට එක්වුණේ සත්කාරක ප්‍රංශ කණ්ඩායමයි.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැගත් බෝට්ටු 80ක් සමාරම්භක උලෙළේ දී සේන් නදිය ඔස්සේ සුප්‍රසිද්ධ අයිෆල් කුළුණ ඇතුළු විශේෂ ස්ථාන රැසක් පසුකරමින් කිලෝමීටර 6ක දුරක් ගමන් ගැනීම විශේෂත්වයකි.

අනතුරුව පැරිස් ඔලිම්පික් උලෙළ නිල වශයෙන් ආරම්භ වූ බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් විසින් නිවේදනය කළේ සුප්‍රසිද්ධ අයිෆල් කුළුණ ඉදිරිපිට පැවති උත්සවයේදීය.

ඉන් අනතුරුව අයිෆල් කුළුණේ විචිත්‍රවත් ආලෝක සංදර්ශනයක් පැවැත්විය.

ප්‍රංශය නියෝජනය කළ සුපිරි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් ඔලිම්පික් පහන ආලෝකවත් කෙරුණි.

සාම්ප්‍රදායිකව ක්‍රීඩාංගණයක ඉදිකරන ඔලිම්පික් පහනක් වෙනුවට පැරිස් ඔලිම්පික් උලෙළේ දී යොදාගෙන තිබුණේ ගෑස් බැලූනයක ආධාරයෙන් ගුවනේ රැඳී තිබෙන ඔලිම්පික් පහනකි.

අනතුරුව අයිෆල් කුළුණේ ඉහළ ඉදිකෙරුණු පීඨිකාවක සිට සුප්‍රසිද්ධ ගායිකා සෙලීන් ඩියෝන් ඉදිරිපත් කළ ගායනයෙන් ඔලිම්පික් සමාරම්භක උලෙළ තවත් වර්ණවත් විය.

අද අළුයම නිල වශයෙන් ඇරඹි පැරිස් ඔලිම්පික් උලෙළේ දී පදක්කම් 2,600ක් වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දසදහස් හත්සිය දහහතර දෙනෙක් අගෝස්තු 11 වනදා දක්වා තරග වදිනු ඇති.

ශ්‍රී ලංකාව වෙනුවෙන් බැඩ්මින්ටන් ඉසව්ව නියෝජනය කරන විරේන් නෙත්තසිංහ පිරිමි කේවල බැඩ්මින්ටන් ඉසව්වේ මූලික වටයේ තරගයකට අද (26) පස්වරු 2.30ට සහභාගී වීමට නියමිතය.