ඔන්ලයින් ණය ජාවාරමේ 06දෙනෙක් අත්අඩංගුවට

ඔන්ලයින් ණය ජාවාරමේ 06දෙනෙක් අත්අඩංගුවට

January 13, 2024   09:37 pm

ඔන්ලයින් මගින් ණය ලබාදෙන ආයතන එම ණය වාරික ගෙවීම පැහැර හැරි පුද්ගලයන්ගේ පෞද්ගලික දත්ත සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර ඔවුන් පීඩාවට පත්කිරීමේ සිද්ධි පසුගිය කාලයේ වාර්තා විය.

ඒ අනුව ලද පැමිණිලි රැසක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය ඊට සම්බන්ධ පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අතර චීන ජාතික කාන්තාවන් තිදෙනෙකු ඇතුළු චීන ජාතිකයන් පස්දෙනෙකුද වෙයි.

ඔන්ලයින් හරහා ණය ලබාදෙන Star VIP Loan නම් ආයතනය මගින් සමාජ මාධ්‍ය ඔස්සේ පළකර ඇති  ප්‍රචාරක දැන්වීම් රැසක් මේ දිනවල දැකගත හැකිය.

ඒවායින් ණය ලබාගන්න පුද්ගලයන් එම ණය ගෙවීම පැහැර හැරියහොත් ඔවුන්ට සිය පෞද්ගලික තොරතුරු සමාජගත කරන බවට තර්ජනය කරන අයුරුද පසුගිය දිනවල දැකගත හැකිවිය.

ණය ලබාදෙන ආයතනයේ සේවිකාවක්,

"මිස් ඔයා මේක ගෙවන්නේ නැත්තම් මේ මාසේ... ඊට පස්සේ මේගොල්ලෝ කරන්නේ ඔයාගේ ඔය රු. 87,000 ගෙවනකන් අනිවාර්යයෙන් ඔයාගේ ෆෝන් එකේ දුරකථන නාමාවලියේ අංකවලට කතා කරකර ෆොටෝ ෂෙයා කරන එක.

ඒ හින්දා නිකන් කල් ගන්නේ නැතුව අදම පේමන්ට් එක දාලා ඉවර කරන්න ඕනේ. ඔයා දන්නවද ඔයාට මොනවද කරන්න ඇවිල්ලා තියෙන උපදෙස් කියලා. ඔයාගේ ගෘෘප්ස්වලට ෂෙයා කරන්න කියලා අපිට මැනේජ්මන්ට් එකෙන් කියලා තියෙනවා. ඔයාගේ ෆොටෝ එක. ඊට පස්සේ ඔයාගේ ළමයින්ගේ ගුරුවරුන්ට... ඒ හැමෝගෙම තොරතුරු අපි ගාව තියෙනවා. හරිද? ඒවා ඔක්කොටම ෂෙයා කරන්න කියලා අපිට කියලා තියෙන්නේ. ඔයාගේ යාළුවන්ට ඔයාගේ නෑදෑයන්ට හැම කෙනාටම."

මේ සම්බන්ධයෙන් ණයකරුවන් රැසකගෙන් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි රැසක් ලැබී තිබුණි.

ඒ අනුව විමර්ශන සිදුකළ පොලීසිය අනාවරණය කරගෙන තිබුණේ, ණය ලබාගැනීමට අයදුම්කිරීමේදී බාගත කිරීම සඳහා ලබාදෙන යෙදවුම මගින් ණය ලබාගන්නා පුද්ගලයාගේ දුරකථනය තුළ තිබෙන පෞද්ගලික දත්ත එකී ආයතනය රහසිගතව ලබාගන්නා බවය.

අනතුරුව ණය ලබාදීම පැහැර හැරියහොත් ණයකරුවන් පිළිබඳව අපහාසාත්මක තොරතුරු සමාජගත කරන බවටද විමර්ශන නිලධාරීන් අනාවරණය කරගෙන තිබුණි.

පසුව සිදුකළ සොයාබැලීමේදී අනාවරණය වී තිබුණේ දෙහිවල ප්‍රදේශයේ ස්ථානයක පිරිසක් එම ණය ලබාදෙන ආයතනය පවත්වාගෙන යන බවය.

ඊයේ පස්වරුවේ අදාළ ස්ථානය විමර්ශන නිලධාරීන් විසින් වටලනු ලැබූ අතර එහිදී අනාවරණ වී තිබුණේ චීන ජාතික කාන්තාවන් තිදෙනෙකු ඇතුළු චීන ජාතිකයන් පස්දෙනෙකු මෙහි නිරතව සිට ඇති බවය.

එමෙන්ම අදාළ ස්ථානයේ පවත්වාගෙන ගිය පරිගණක දත්ත ගබඩාවක ණයකරුවන්ගේ දත්ත ගබඩාකර ඇති බවත් එහි ප්‍රධාන සර්වරය චීනයේ පවතින බවත් විමර්ශන නිලධාරීන් අනාවරණ කරගෙන තිබේ.

අනතුරුව චීන ජාතිකයන් පිරිස සහ ඔවුන්ගේ ලාංකික භාෂා පරිවර්තකයා විමර්ශන නිලධාරීන් මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

එමෙන්ම අදාළ ස්ථානයේ තිබී ජංගම දුරකථන විශාල ප්‍රමාණයක් සහ පරිගණක රැසක්ද සොයා ගැනුණි.

සැකකාර චීන ජාතිකයන් පිරිස අද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරුණි.