සිඩ්නි වෙඩි තැබීමෙන් පසු එරට ගිනිඅවි සම්බන්ධ නීති දැඩි වෙයි
December 15, 2025 12:41 pm
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි හී බොන්ඩි වෙරළ තීරයේ ඊයේ (14) ඇතිවූ සිද්ධියත් සමඟ රට තුළ ගිනිඅවි සම්බන්ධ නීති දැඩි කිරීම පිළිබඳව එරට රජයේ අවධානය යොමුව තිබේ.
මෙවැනි සිදුවීම් ඉදිරියට ඇතිවීම වළක්වා ගැනීම සඳහා සුදුසු ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට රජය පසුබට නොවන බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් ප්‍රකාශ කර ඇතැයි මේ වන විට විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඒ අනුව පුද්ගලයෙකු සඳහා ලබාදිය හැකි ගිනිඅවි බලපත්‍ර ප්‍රමාණය සීමා කිරීම, බලපත්‍ර සමාලෝචන කාලසීමාවක් හඳුන්වාදීම යනාදිය සම්බන්ධයෙන් අද පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබේ.
සිඩ්නි බොන්ඩි වෙරළ තීරයේ ඊයේ (14) තුවක්කුකරුවන් දෙදෙනකු විසින් සිදුකළ වෙඩි ප්‍රහාර මාලාවකින් 10 හැවිරිදි දැරියක් ඇතුළු පුද්ගලයින් 15 දෙනෙකු මේ වන විට මියගොස් තවත් 40 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.
තුවක්කුකරුවන් දෙදෙනා 50 හැවිරිදි සජිඩ් අක්රම් සහ ඔහුගේ 24 හැවිරිදි පුත්‍රයා වන නවීඩ් අක්රම් ලෙස මේ වන විට හඳුනාගෙන ඇති අතර පොලිස් මෙහෙයුම් අතරතුර සජිඩ් අක්රම් නැමැත්තා මියගොස් තිබුණු බව විදෙස් වාර්තා සඳහන් කර තිබේ.
සජිඩ් අක්රම් නැමැත්තා 1998 වසරේ ශිෂ්‍ය වීසා මත ඔස්ට්‍රේලියාවට පැමිණ ඇති අතර ඔහුගේ පුත්‍රයා වන නවීඩ් අක්රම් ඔස්ට්‍රේලියාවේ දී උපත ලැබූ අයෙකු බවත් ඔහු කිසියම් ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධ බවට ඇතිවූ සැකයක් මත 2019 වසරේ දී ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශවල අවධානයට ලක්ව සිටි අයෙකු බවත් සඳහන් ය.
එමෙන්ම සජිඩ් අක්රම් නැමැත්තා සතුන් දඩයම් කිරීම සඳහා 2015 වසරේ සිට ගිනිඅවි බලපත්‍ර හිමිකම් පවතින අයෙකු බවද මේ වන විට අනාවරණය වී තිබේ.
