චම්පිකගේ පෙත්සම කැඳවීමට දින දෙයි
December 15, 2025 01:41 pm
අපරීක්ෂාකාරී ලෙස රිය පදවා රිය අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සහ බරපතල රිය අනතුරක් සිදු කිරීම යන චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන අධිචෝදනා පත්‍රය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන රිට් පෙත්සම ජනවාරි මස 22 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.
පාඨලී චම්පික රණවක මහතා විසින් ගොනුකර තිබෙන මෙම පෙත්සම අද (15) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී මෙම පෙත්සම සලකාබැලීම සඳහා ශෂී මහේන්ද්‍රන් සහ අමල් රණරජා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නම් කෙරුණි.
එම විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාළ පෙත්සම ජනවාරි මස 22 වනදා කැඳවීමට නියමිතය.
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් සිය රියැදුරු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ වරද පිළිගෙන නඩු කටයුතු අවසන් කර තිබූ බව පෙත්සම්කාර හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
එසේ තිබියදී අදාළ චෝදනා සම්බන්ධයෙන් තමන්ට එරෙහිව යළි නඩු පැවරීමට නීතිපතිවරයා ගෙන තිබෙන තීරණය නීතියට පටහැනි බවත් ඒ අනුව තමාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබෙන අධිචෝදනා බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර පාඨලී චම්පික රණවක මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය.
