කලටුවාවේ ජලය තවත් දින 20කට පමණයි - ඉදිරි සති 2ක තීරණාත්මකයි
April 2, 2026 12:36 pm
කොළඹ නගරයට සහ අවට ප්‍රදේශවලට පිරිසිදු පානීය ජලය සපයන ප්‍රධානතම ජල පවිත්‍රාගාරයක් වන කලටුවාව ජල පවිත්‍රාගාරයේ ජලය ඇත්තේ තවත් දින 20කට පමණක් බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා අද (02) පැවසීය.
සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ උණුසුම් කාලගුණයත් සමග ජල පරිභෝජනය ඉහළ යමින් පවතින බවය.
මේ වනවිට රට තුළ පවතින අධික වියළි කාලගුණය හේතුවෙන් සහ ජල පරිභෝජනය ඉහළයෑම හේතුවෙන් පානීය ජලය නිෂ්පාදනය කිරීම ඉදිරියේදී යම් සීමා කිරීමක් කිරීමට සිදුවෙන බවද ඒ මහතා පැවසීය.
මේ අතර ලබුගම ජල පවිත්‍රාගාරයේ ජලය ඇත්තේ තවත් දින 50කට පමණක් බවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
"ඉදිරි සති දෙක තුන තුළ වර්ෂාපතනය නොලැබී යන්නම ඉඩ තියෙනවා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනගන්න ලැබුණා. මේකත් එක්ක අපිට ජල නිෂ්පාදනය ක්‍රමානුකූලව සීමා වෙමින් පවතිනවා. උත්සව සමයත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා ජනතාවගේ ජල පරිභෝජනය තවත් ඉහළ යන්න පුළුවන් කියලා.
ආරෝග්‍ය ශාලා, පාසල්, විශ්වවිද්‍යාල, රජයේ ආයතන පවත්වාගෙන යාමට නම් ජල සම්පාදනය අනිවාර්යයෙන්ම පවත්වගෙන යන්න ඕනේ. කාර්මික අවශ්‍යතාවයන් සඳහා ජල සම්පාදනය කරන්න අවශ්‍යයි. මේවාත් එක්ක ඉදිරි කාලයේදී ජල සම්පාදනය යම් ගැටලුකාරී තත්ත්වයකට එන්න පුළුවන්.
අපේ ජල මූලාශ්‍ර බොහෝ වෙලාවට තියෙන්නේ, වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ. ජල සම්පාදන මණ්ඩලය යටතේ පවතින්නේ සීමිත ප්‍රමාණයක්. මේ වෙද්දී ජල මූලාශ්රවල ධාරිතාවන්වල අඩුවක් තිබෙනවා. ඉදිරි සති දෙක තුන තුළ වර්ෂාපතනයක් ලැබුණේ නැත්නම් තවදුරටත් නරක තත්ත්වයට පත් වෙන්න ඉඩ තියෙනවා.
මේ තත්ත්වය තත්ත්වය කළමනාකරණය කරගැනීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතු දෙයක්. මේ සඳහා අපි අප්‍රේල් 20 දක්වා වෙනකම් යම් ජල කළමනාකරණය යටතේ ජල සම්පාදනය කරන්න සිදුවෙනවා.
මේ වැඩපිළිවෙල සකස් කරලා තියෙන්නේ, ඇති වෙන්න පුළුවන් නරකම තත්ත්වය කල්පනා කරලා. කලටුවාව ජලාශයේ දින 20කට වගේ පමණයි ජලය ඉතුරු වෙලා තියෙන්නේ. දැන් තියෙන ධාරිතාව අනුව නිෂ්පාදනය කළොත්, යම් සීමා කිරීමකට යන්න වෙනවා.
උණුසුම් කාලගුණයත් එක්ක ජල පරිභෝජනය ඉහළ යමින් තිබෙනවා. මේ තත්ත්වයත් එක්ක ජල නිෂ්පාදනය සීමා කිරීමට වෙනවා. කලටුවාව වගේ ජලාශයේ පවතින ධාරිතාවයෙන් නිෂ්පාදනය කළොත්, දින 20කට තමයි ප්‍රමාණවත් වෙන්නේ. නිෂ්පාදන ධාරිතාව අඩු කරලා දින 30කට හෝ 40කට එම ජල ප්‍රමාණය රඳවා ගැනීමේ අවශ්‍යතාව අපිට තියෙනවා. වැසි ලැබුණොත්, අපිට මේ තත්ත්වය වෙනස් කරගැනීමේ හැකියාවක් තියෙනවා."
