''ඕනෑම අදියරයක් යටතේ  නායයෑම් අනතුරු වෙන්න පුලුවන්''

''ඕනෑම අදියරයක් යටතේ නායයෑම් අනතුරු වෙන්න පුලුවන්''

December 15, 2025   11:56 am

නායයෑම ස්වාභාවික සංසිද්ධියක් වන අතර ලෝකය පුරා වර්ෂාපතනය, භූමිකම්පාව, අයිස්කඳු මත ඇති වෙන ක්‍රියාවලිය හේතුවෙන් නායයෑම් සිදුවන බවත් ලංකාවේ නායයෑම් සිදු වෙන්නේ වර්ෂාපතනය නිසා බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පවසයි.

නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන ආකාර තුනකට නිකුත් කරන අතර එය පළමු අදියර, දෙවෙනි අදියර සහ ඉවත්වීමේ රතු නිවේදන ලෙස කාණ්ඩ තුනක් යටතේ සිදු වන බවද වසන්ත සේනාධීර මහතා සඳහන් කළේය.

එම ප්‍රදේශයට ලැබෙන වර්ෂාපතනය ගණනය කිරීමෙන් ලැබෙන සංඛ්‍යාත්මක අගයත් සමග අදාළ නිවේදන එම අදියර යටතේ කාණ්ඩ කරන බව ද වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසීය. 

ඔහු එහිදී සඳහන් කළේ රතු නිවේදන නිකුත් කළ ස්ථාන පමණක් නාය යෑමට ලක්වන බව ඉන් අදහස් නොවන අතර අදියර එක සහ අදියර දෙක යටතේ පවතින ප්‍රදේශයන් ද නායයාමට ලක්විය හැකි බවය.

අනතුරු ඇඟවීමේ නිවේදනයක් ලබා දුන් පසු ඕනම අදියරක් යටතේ නායයෑමේ සිදුවීමක් ඇතිවිය හැකි අතර රතු නිවේදන ලබා දී ඇති ප්‍රදේශයන්වල විශාල වශයෙන් නායයෑම් සිදු විය හැකි බවද ඔහු සඳහන් කළේය.

විශාල නායයෑමකට, වර්ෂාපතනය හේතු විය හැකි නමුත් අදියර එක සහ දෙක යටතේ ඇති ප්‍රදේශවල, මිනිසා විසින් නිර්මිත කණ්ඩි කඩාවැටීම් ආදිය සිදුවිය හැකි බව ද ආචාර්ය වසන්ත සේනාධීර මහතා කියා සිටියේය.

එමෙන්ම නිකුත් කරන නිවේදනයේ පැහැදිලිව ඒ සම්බන්ධව එනම් කණ්ඩි කඩාවැටීම්, ගල් පෙරලීම් සහ නායයෑමට ලක්විය හැකි ස්ථාන සම්බන්ධව සැලකිලිමත් වෙන ලෙස සඳහන් කර ඇති බවද ඔහු එහිදී පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යේෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා,

''ඊට අමතරව හඳුනාගත්ත නායයාම් ප්‍රදේශ කිහිපයක් තියෙනවා. අපි ගත්තොත් එහෙම, ගලබඩ, ඊට අමතරව දියනිල්ල, වීරියපුර, උඩපත ඒ කියන්නේ බුලත්කොහුපිටිය පැත්තේ. ඊට අමතරව තව තියෙනවා. ඒවා නාය යනවා. ඒ කියන්නේ අවුරුද්දකට යම් කිසි ප්‍රමාණයක් නා‍යයනවා. ඒ නිසා ජනතාව සැලකිලිමත් වෙන්න ඕන.''