නීතිවිරෝධී වාහන ලියාපදිංචි කිරීම්වලින් රජයට කෝටි 7ක පාඩුවක්

නීතිවිරෝධී වාහන ලියාපදිංචි කිරීම්වලින් රජයට කෝටි 7ක පාඩුවක්

October 24, 2023   07:29 am

නීතිවිරෝධී ලෙස ආනයනය කරන ලද හෝ එකලස් කරන ලද වාහනවල චැසි අංක හා එංජින් අංක මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දත්ත පද්ධතියට වංචනිකව ඇතුළත් කර මෝටර් රථ ලියාපදිංචි කිරීමේ ව්‍යාජ සහතික නිකුත් කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව නඩු පැවරිය යුතු බව ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර තිබේ.

මෝටර් රථ ලියාපදිංචි කිරීමේ ව්‍යාජ සහතික නිකුත් කිරීම පිළිබඳ සිදුකරන ලද විශේෂ විගණන වාර්තාව මඟින් එම නිර්දේශ සිදුකර ඇති බව වාර්තා වේ.

පසුගිය වසරේ සිදුකරන ලද මෙම විගණනයට අනුව නීත්‍යානුකූලව ලියාපදිංචි මෝටර් රථයක හෝ යතුරුපැදියක ලියාපදිංචි අංකයක් සඳහා අනීතිකව ආනයනය කරන ලද වාහනයක එංජින් අංකය හා චැසි අංකය ඇතුළත් කර නීත්‍යානුකූල ලියාපදිංචි සහතික නිකුත් කිරීම හේතුවෙන් රජයට ආසන්න වශයෙන් රුපියල් 76,683,475ක් අහිමි වී ඇති බව අනාවරණය වී තිබේ.

මෙහිදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මොටර් වාහන පනතේ විධිවිධානවලට අනුකූල නොවන සේ මෝටර් රථ හා යතුරුපැදි ලියාපදිංචියට අදාළ කරුණු වෙනස් කර ඇති බව තහවුරු වූ බව විගණන කාර්යාලය පෙන්වා දෙයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් භාවිතයට නොගත් හිස් අංක, අක්‍රීය කරන ලද අංක භාවිතා කරමින් අනීතිකව ආනයනය කරන ලද වාහනවල එංජින් අංක හා චැසි අංක ඇතුළත් කර වංචනික ආදායම් බලපත්‍ර නිකුත් කර ඇති බව සඳහන්ය.

මෙවැනි නීතීවිරෝධී කටයුතු පාලනය කිරීම සඳහා මෝටර් වාහනයක ලියාපදිංචියට අදාළව සිදුකරනු ලබන සියලු වෙනස් කිරීම්වලට දායක වූ පරිශීලකයින් සම්බන්ධ විස්තර ස්වයක්‍රීයව පද්ධතිය තුළට ගබඩා වන පරිදි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය සංවර්ධනය කළ යුතු බව විගණන කාර්යාලය පෙන්වා දෙයි.

එමෙන්ම මෝටර් රථ දෙපාර්තමේන්තුව විසින් භාවිතයට නොගත් හිස් අංක, අක්‍රීය කරන ලද අංක සහ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම් හතර 13න් අවසන් වන හා එම අංක හතරෙහි එකතුව 13 වන අංක ඇතුළුව මෙතෙක් භාවිතයට නොගත් හා අනාගතයේ දී භාවිතයට නොගන්නා අංක සඳහා කිසිදු අයුරකින් මෝටර් රථයක් ලියාපදිංචි වීම වැළැක්වීම සඳහා පියවර ගතයුතු බව ද ජාතික විගණන කාර්යාලය නිර්දේශ මඟින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.