පුංචි ලෝකාන්තය නැරඹීමට ගිය වෛද්‍යවරුන්ට අනතුරක්

පුංචි ලෝකාන්තය නැරඹීමට ගිය වෛද්‍යවරුන්ට අනතුරක්

September 10, 2023   11:03 am

මඩොල්සිම පුංචි ලෝකාන්තය නැරඹීම සඳහා ගිය වෛද්‍යවරුන් පිරිසක් අකරතැබ්බයකට මුහුණදුන් පුවතක් මඩොල්සිම ප්‍රදේශයෙන් වාර්තා වුණි.

අප වාර්තාකරු පැවසුවේ, එම වෛද්‍යවරු ගමන්ගත් මෝටර් රථයක් මතට රූස්ස ගසක විශාල අත්තක් කඩාවැටීම හේතුවෙන් අනතුරක් සිදුව ඇති බවය.

එම අනතුරින් තුවාල ලැබු වෛද්‍යවරයෙක් කඩිනමින් රෝහල් ගතකළ බව මඩොල්සිම පොලීසිය පැවසීය.

එලෙස අනතුරට ලක්ව ඇත්තේ, රාගම රෝහලේ සේවය කරන 38 හැවිරිදි වෛද්‍යවරයෙකි.

විශ්වවිද්‍යාලයේ මිතුරන් වන වෛද්‍යවරු අට දෙනෙක් ඊයේ (09) පස්වරුවේ මෝටර් රථ දෙකකින් පුංචි ලෝකාන්තය නැරඹීමට යමින් සිටියදී මඩොල්සිම කොකාගල ඩීන්වත්ත ප්‍රදේශයේදී මාර්ගය ආසන්නයේ තිබෙන ගසක අත්තක් මෙසේ එක් මෝටර් රථයක් මතට කඩාවැටී තිබේ.

එම අනතුරෙන් තුවාල ලැබූ වෛද්‍යවරයා මැටිගහතැන්න රෝහලට ඇතුළත් කර හදිසි ප්‍රතිකාර ලබාදීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇත.

මෙහිදී වෛද්‍යවරයාගේ සුසුම්නාවට සිදුවී ඇති හානිය හේතුවෙන් හදිසි ශල්‍යකර්මයකට භාජනය කර ඇති අතර, එම ශල්‍යකර්මය බදුල්ල ශික්ෂණ රෝහලේ ස්නායු විශේෂඥ ශල්‍ය වෛද්‍ය ලක්මාල් හෙවගේ මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් විසින් සිදුකර ඇත.