සභාපතිවරයාගේ ඝාතන තැත ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

සභාපතිවරයාගේ ඝාතන තැත ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

June 12, 2023   03:09 pm

බත්තරමුල්ල සමූපකාර රක්ෂණ සමාගමේ සභාපතිවරයා වෙඩිතබා ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණය වී තිබේ.

බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය සිදුකළ මූලික විමර්ශනවලදී හෙළිවී ඇත්තේ ඔහුව ඝාතනය කිරීමට සැලසුම්කර ඇත්තේ හිටපු සභාපතිවරයාගේ සහ ප්‍රධාන සැකකරුගේ මූල්‍ය දූෂණ අනාවරණය කිරීම නිසාවෙන් බවය.

අදාළ ඝාතන තැතට හේතුවූ නඩුව කොළඹ වාණිජ මහාධිකරණයේ විභාගවෙමින් පවතින බවද පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත.

එම අපරාධය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මාතර දිස්ත්‍රික් සමූපාකාර මණ්ඩල සභාපති මෙන්ම සමූපකාර රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු ඇතුළු සැකකරුවන් 04දෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මීගොඩ පොලීසිය වෙත භාරදී තිබේ.

මෙම අපරාධයේ ප්‍රධාන සැකකරු මාතර නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයකුද වන බව පොලිස් නිලධාරියකු පැවසීය.

අනෙකුත් සැකකරුවන් අතර යුද හමුදාවේ සේවය හැර ගිය සෙබළෙක්, බස්රථ හිමි ව්‍යාපාරිකයෙකු සහ බස් කොන්දොස්තරවරයෙක් ද වෙයි.

එම සැකකරුවන් සන්තකයේ තිබී, චීනයේ නිෂ්පාදිත 9.3 වර්ගයේ ජීවඋණ්ඩ දැමිය හැකි ගිනිඅවියක්, මැගසිනයක්, ජීව උණ්ඩ දෙකක්, වෙඩිතැබීම සඳහා පැමිණි ත්‍රීරෝද රථයක් සහ යතුරුපැදිය ද පොලිස් භාරයට ගෙන ඇත.

ඊට අමතරව ප්‍රධාන සැකකරුගෙන් අනාවරණය වූ තොරතුරු අනුව ඔහුට බලපත්‍ර මත රජයෙන් ලබාදී තිබූ 9M වර්ගයේ ගිනිඅවියක්, ඊට අදාළ මැගසින් සහ ජීවඋණ්ඩ ප්‍රකාශයක් ලබාදී මීගොඩ පොලීසිය වෙත පෙරේදා බාරදී තිබුණි.

සිද්ධියට අදාළ සැකකරුවන් සිව්දෙනා අද (12) දින හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර පැය 48ක කාලයක් සඳහා රැඳවුම් නියෝග ලබාගෙන ඇත.

ඒ අනුව අපරාධය සම්බන්ධයෙන් සැකකරුවන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බව මීගොඩ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ප්‍රියන්ත මහතා පැවසීය.

බත්තරමුල්ල සමූපකාර රක්ෂණ සමාගමේ උප සභාපති ලෙස කටයුතු කළ මීගොඩ වල්පිට තිසර උයන ප්‍රදේශයේ පදිංචි වත්මන් සභාපතිවරයා පසුගිය 02 වනදා අභිනව සභාපති තනතුරේ වැඩ බාරගැනීම සඳහා නිවසේ සිට මෝටර්රථයෙන් යමින් සිටියදී පාගමනින් පැමිණි පුද්ගලයකු මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් තිබුණි.

එහිදී ඔහු තුවාල ලැබීය.

ඒ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සිදුකළ විමර්ශනවලදී බත්තරමුල්ල සමූපකාර රක්ෂණ සමාගමේ හිටපු  සභාපතිවරයාගේ සමීපතමයෙකු වන මාතර දිස්ත්‍රික් සමූපාකාර මණ්ඩල සභාපතිවරයා කළුතර වරකාගොඩ බස්රථ හිමි ව්‍යාපාරිකයෙකුට ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත මෙම අපරාධය සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වුණි.

එම බස්රථ හිමි ව්‍යාපාරිකයා ප්‍රභූ පුද්ගලයින් ට ආරක්ෂාව සපයන පුද්ගලික ආරක්ෂක අංශයක සේවය කළ අයෙකු බවද පොලීසිය කියයි.

ඒ අනුව එම සැකකරු විසින් කුලියාපිටියේ පදිංචි හිටපු හමුදා සෙබළාට මෙම ඝාතනය සඳහා ඝාතන කොන්ත්‍රාත්තුව පවරා තිබුණි.

ඒ සඳහා යතුරුපැදිය පැදවීමට හොරණ බැල්ලපිටිය ප්‍රදේශයේ බස් කොන්දොස්තර රැකියාව කරන පුද්ගලයෙකු ද හඳුන්වාදී ඇති බව පොලීසිය සඳහන් කරයි.

ඝාතන කොන්ත්‍රාත්තුව මෙම කල්ලිය වෙත ලබාදී ඇත්තේ මාස කිහිපයකට ඉහතදී බවත් අවස්ථා කිහිපයකදීම වෙඩිතැබීම සඳහා නිවස ආසන්නයට පැමිණිය ද ඒ සෑම අවස්ථාවකදීම එය සාර්ථක වී නොමැති බව සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වී තිබේ.

මෙදින වෙඩිතැබීමෙන් අනතුරුව වෙඩික්කරු කිලෝමීටරයක් පමණ දුරකට දිව ගොස් අනතුරුව ත්‍රීරෝද රථයක නැඟ පළාගොස් තිබූ බව පොලීසිය කියයි.

සිද්ධියේ ප්‍රධාන සැකකරු, සැකකාර බස්රථ හිමි ව්‍යාපාරිකයා අමතා වැඩේ සිදු කිරීමෙන් අනතුරුව සතුටු විය හැකි ආකාරයෙන් මුදලක් ගෙවන බවට පවසා තිබූ බවද පොලීසිය අනාවරණය කරගෙන ඇත.

ඔහු එම අදහස සඳහා මනාපය පළකර ඇත්තේ ඔහුගේ බස්රථ ව්‍යාපාරයේ ඇතිවූ මූල්‍ය අර්බුදයක් නිසාවෙන් බවටද හෙළිවී තිබේ.

ඒ හේතුවෙන් එම සැකකරු ඝාතන කොන්ත්‍රාත්තුව භාරගෙන තිබූ බව දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත.

බත්තරමුල්ල රක්ෂණ සමාගමේ හිටපු සභාපතිවරයාගේ මූල්‍ය වංචා රැසක් වත්මන් සභාපතිවරයා අනාවරණය කිරීම මෙම අපරාධයට ප්‍රධානතම හේතුව බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ප්‍රධාන සැකකරු වන මාතර දිස්ත්‍රික් සමූපාකාර මණ්ඩල සභාපතිවරයා ඝාතන තැත සඳහා වෙඩික්කරුට ලබාදුන් ගිනි අවිය ඔහුට ලද ආකාරය එම ගිනිඅවිය යොදාගෙන තවත් අපරාධ සිදුකර ඇත්ද යන්නත් විශේෂයෙන් සොයා බලන බව උසස් පොලිස් නිලධාරියකු පැවසීය.

මේ අතර වෙඩි වැදී තුවාල ලැබූ සභාපතිවරයා තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වාර්තා විය.