ගානියාට එරෙහි චෝදනා පත්‍රය සංශෝධනය කරන්න අධිකරණයෙන් අවසර

ගානියාට එරෙහි චෝදනා පත්‍රය සංශෝධනය කරන්න අධිකරණයෙන් අවසර

May 3, 2023   11:55 am

2019 වසරේ නොවැම්බර් මස සුදු වෑන් රථයකින් පැමිණි ආයුධ සන්නද්ධ පිරිසක් තමන්ව පැහැරගෙන ගොස් ලිංගික හිරිහැර සිදුකළ බවට පොලීසිය වෙත අසත්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කළේ යැයි චෝදනා එල්ල වී සිටින කොළඹ පිහිටි ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක වන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස්ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අධිචෝදනා පත්‍රය සංශෝධනය කිරීමට කොළඹ මහාධිකරණය අද (03) නීතිපතිවරයාට අවසර ලබාදී තිබේ.

එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් වලල්ලේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා කර තිබූ ඉල්ලීමට අනුව අදාළ චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට විනිසුරුවරයා අවසර ලබාදුන්නේය.

ඉන් අනතුරුව අදාළ නඩුව ජුන මස 15 වනදා කැඳවන ලෙසත් අධිකරණය නියෝග කළේය.

2019 වසරේ නොවැම්බර් මස 25 වනදා කොළඹ, කුරුඳුවත්ත පොලිස් වසම තුළ පිහිටි ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය අසළ දී සුදු වෑන් රථයකින් පැමිණි සන්නද්ධ පිරිසක් තමන්ව පැහැරගෙන ගොස් ලිංගික හිරිහැර සිදුකරමින් ප්‍රශ්න කළ බවට අසත්‍ය පැමිණිල්ලක් පොලීසිය වෙත ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නැමැත්තියට එරෙහිව නීතිපතිවරයා විසින් එම නඩුව ගොනුකර තිබේ.