දහසකුත් අභියෝග මැද පහන් එළියෙන් සිතුවම් මවන කාව්‍යා
February 9, 2023 03:49 pm
දැඩි ආර්ථික අපහසුතා මැද සුවිශේෂී හැකියාවක් සහිත සිසුවියක් පිළිබඳව පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශයෙන් වාර්තා වුණි.
ඕනෑම පුද්ගලයකුගේ රූපයක් විනාඩි කිහිපයක් ඇතුළත සිතුවම් කිරීමේ හැකියාව කාව්‍යා සතුව පවතී.
ඇය එලෙස සිතුවම්කරණයේ නිරත වන්නේ තවත් බාධක රැසක් මධ්‍යයේය.
මෙවර උසස් පෙළ විභාගයට ද ඇය සූදානම්වෙමින් පසුවෙයි.
ඇය පොළොන්නරුව වැලිකන්ද කාලිංගවිල ප්‍රදේශයේ පදිංචි කාව්‍යා අංජලී ය.
චිත්‍ර කලාවෙන් කලාප හා පළාත් මට්ටමින් ජයග්‍රහණ රැසක් ලබා තිබෙන ඇය, මෙලෙස අපූරු චිත්‍ර මවන්නේ බොහෝ බාධක හා අභියෝග මධ්‍යයේය.
දිරාපත්වූ කුඩා පැල්පතන දිවි ගෙවන කාව්‍යා, ඇයගේ මව සහ කුඩා නැගණිය සමග ජීවත් වන්නේ ඇයගේ පියා කුලී වැඩකර උපයාගන්නා සුළු ආදායමෙනි.
විදුලි සැපයුමක් පවා නොමැති නිසා රාත්‍රී කාලයට ඇය සිතුවම් කරන්නේ පොල්තෙල් පහනේ ආලෝකයෙනි.
එපමණක් නොවෙයි රාත්‍රී කාලයට ගම්වදින වනඅලි ඔවුන්ගේ ජීවිත තව තවත් දුෂ්කර තත්ත්වයකට ඇද දමා තිබේ.
සිතුවම්කරණයට අවශ්‍ය තීන්ත වර්ග, චිත්‍ර පොත්, මෙන්ම අනෙකුත් උපකරණවල මිල ඉහළ යාමත් ඇයට ඇයගේ හැකියාව ඉදිරියට කරගෙන යාමට බාධාවක් වී තිබේ.
ඇයගේ මෙම හැකියාවන්ගෙන් සමාජයට යම් ප්‍රයෝජනයක් ගැනීම සඳහා කවරෙකුගේ හෝ උපකාරයක් ඇයට අවශ්‍ය වී තිබේ.
ඇයට උදව් කිරීමට හැකියාවක් ඇති අයෙක් වෙතොත් පහත දුරකථන අංකය ඔස්සේ වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.
නිමල් (ප්‍රාදේශීය වාර්තාකරු) 0756272787