ශූරයන්ගේ කුසලානයේ දී ඔස්ට්‍රේලියාවෙන් වාර්තාගත හඹායාමක්
February 23, 2025 11:03 am
ශූරයන්ගේ කුසලානය තරගාවලියේ B කාණ්ඩය යටතේ එංගලන්තය හා ඔස්ට්‍රේලියාව අතර පකිස්තානයේ ලාහෝර් හිදී පැවති තරගයෙන් කඩුලු 5 ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා ක්‍රිකට් පිල ඊයේ (22) සමත්විය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත පිල සිය පන්දු වාර 50 අවසානයේ දී කඩුලු 8ක් දැවී ලකුණු 351 ක් ලබා ගැනීමට සමත්විය.
එය ශුරයන්ගේ කුසලාන තරගාවලියක කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින් වාර්තා පොත් අතරට එක්වුවද එම වාර්තාව පැය කිහිපයක් තුළ කඩා බිඳ දැමීමට ඔස්ට්‍රේලියානු පිල සමත් වූයේ පන්දු වාර 47 යි පන්දු 3ක් තුළ දී කඩුළු 5ක් දැවී ලකුණු 356 ක් ලබාගැනීමත් සමඟිනි.
එසේම ශූරයන්ගේ කුසලාන තරගමාලාවක දී තරග ජයග්‍රහණයක් වෙනුවෙන් හඹාගොස් වාර්තා කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ද මෙහිදී අලුත් කිරීමට ඔස්ට්‍රේලියා පිල මෙහිදී සමත් වූයේය.
එංගලන්ත පිල නිර්මාණය කරන ලද ලකුණු 351 ක දැවැන්ත ලකුණු පුවරුව වෙනුවෙන් ඉහළම දායකත්වය ආරම්භක පිතිකරු බෙන් ඩකට්ගෙන් ලැබී තිබුණු අතර ඔහු පන්දු 143 ක් තුළ ලකුණු 165ක් වාර්තා කිරීමට සමත්විය.
ඊට අමතර ජෝ රූට් ලකුණු 68ක් වාර්තා කළේය.
ලකුණු 352 ක දැවැන්ත ඉලක්කයක් හඹායාමේ දී එක් අවස්ථාවක ඔස්ට්‍රේලියානු පිලේ මුල් පෙළේ කඩුළු 4 ක් ලකුණු 136ක් තුළ බිඳ වැටී තිබුණි.
කෙසේවෙතත් එහිදී පිටියේ ස්ථාවර වූ ජොෂ් ඉංග්ලිස් නොදැවී පන්දු 86 කදී ලකුණු 120ක් හා ඇලෙක්ස් කෙරී ලකුණු 69ක් ලබාගැනීමට සමත් වූයේ පස්වන කඩුල්ල වෙනුවෙන් වේගවත් ලකුණු 146 ක සම්බන්ධතාවයක් පවත්වා ගනිමිනි.
තරගයේ අවසාන පන්දුවාර කිහියේ දී ග්ලේන් මැක්වෙල් පන්දු 15ක දී නොදැවී ලකුණු 32 ක් ලබා ගැනීමට සමත්විය.
ශූරයන්ගේ කුසලානය වෙනුවෙන් තවත් තීරණාත්මක තරගයක් අද (23) දිනයේ දී පැවැත්වෙන අතර අතීතයේ පටන් ක්‍රීඩාවේ දී පමණක් නොව භූ දේශපාලනයේ ද පසමිතුරන් වන ඉන්දියාව හා පකිස්තානය අතර එම තරගය පැවැත්වේ.
2025 ශූරයන්ගේ කුසලානය තරගාවලියේ සත්කාරකත්වය පකිස්තානය විසින් දැරුවද , ඉන්දියාව පකිස්තානයේ දී තරග වැදීම නොයාමේ ප්‍රතිපත්තිය හේතුවෙන් මෙම තරගය ඩුබායි හිදී පැවැත්වීමට තරග සංවිධායකයින් විසින් තීරණ කර තිබේ.