අපේ රටේ ප්‍රතිපත්ති ඕනතරම් තියෙනවා ක්‍රියාත්මක නොවීම ප්‍රශ්නේ - අගමැතිනිය

අපේ රටේ ප්‍රතිපත්ති ඕනතරම් තියෙනවා ක්‍රියාත්මක නොවීම ප්‍රශ්නේ - අගමැතිනිය

February 23, 2025   11:53 am

අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ උසස් අධ්‍යාපනය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන බව අග්‍රාමාත්‍යවරිය පැවසුවාය. 

අග්‍රාමාත්‍යවරිය ඒ බව පැවසුවේ ආබාධ සහිත ප්‍රජාවේ අධ්‍යාපනය ඉහළ නැංවීම සඳහා එම ප්‍රජාව නියෝජනය කරන ආයතන හා සම්බන්ධ පිරිසක් සමග ඊයේ (22) පාර්ලිමේන්තුවේදී පැවති හමුවකදීය. 

ඔවුන් විසින් දේශීය හා ජාත්‍යන්තර සම්මතයන් සැලකිල්ලට ගෙන විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් වෙනුවෙන් සැකසූ යෝජනාවලියක් ඉදිරිපත් කරන ලදී. 

එම යෝජනාවලියේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ අයිතීන් ශක්තිමත් කිරීම, විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම හා ඔවුන් වෙනුවෙන් උසස් අධ්‍යාපන මට්ටම් හඳුන්වාදීම ආදී බොහෝ කරුණු පිළිබඳව අවධානය යොමු කර තිබිණි. 

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, 

"විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට පොදු සමාජය තුළ සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය සමාජ පිළිගැනීමක් සැකසිය යුතුයි. Clean sri lanka  ව්‍යාපෘතිය තුළත් අපි බලාපොරොත්තු වෙන්නේ එම කාර්යය සිදු කරගන්න.  අපේ රටේ ප්‍රතිපත්ති  ඕනතරම් තියෙනවා ඒවා ක්‍රියාත්මක නොවීම තමයි ප්‍රශ්නේ. අපි දකින විදියට මෙතන විශේෂම දෙයක් තමයි ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන්න මුදල් වෙන් වෙන්න ඕනේ. ඒක තමයි අපි මේ වෙලාවේ 2025 වර්ෂයේ අයවැය මගින් විවිධ කාර්යයන් සඳහා නිශ්චිතවම මුදල් වෙන්කරලා තියෙන්නේ."

"අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ අනිවාර්යෙන්ම විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ උසස් අධ්‍යාපනය  මාතෘකාවක් බවට පත් කරගන්න බලාපොරොත්තු වෙනවා.  ඒකට අවශ්‍ය පුද්ගලයන් අපි ඒකට පත් කරලා තියෙනවා. මේ මොහොතේ  අපි අධ්‍යාපනය විශාල පරිවර්තනයක් සකස් කරමින් ඒකට සූදානම් වෙමින් යනවා. එතකොට ඒකට අදාළ ප්‍රතිපත්ති 2025 වර්ෂයේ සකස් කරමින් යන්නේ, 2026 තමයි අපි මේක ක්‍රියාත්මක කරන්න පටන් ගන්නේ.මේක දීර්ඝකාලීන සැලැස්මක් මේක මුළු පද්ධතියම වෙනස් කරන එකක්. අනිවාරයෙන්ම එහිදී විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපන  ක්‍රමය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරනවා." 

"සෑම පාසලකම විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට සාමාන්‍ය පරිදි අධ්‍යාපනයේ යෙදවීමට අවශ්‍ය පහසුකම් සැලසීමට අපි බලාපොරොත්තු වෙනවා. නමුත් මේක විශාල ක්‍රියාවලියක්. එකවරම ඒක කරන්න බෑ ක්‍රමක්‍රමයෙන් එම අරමුණු ඉෂ්ට කරගන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මෙහි මූලික පියවරක් වශයෙන් අවම වශයෙන් එක් අධ්‍යාපන පරිපාලන කලාපයක එක පාසලකවත් මෙම දරුවන්ට අධ්‍යාපනය ලැබීමට සුදුසු තත්ත්වයට පත්කිරීමට අපි කටයුතු කරනවා."