සංජීව ඝාතන සිද්ධිය - තවත් සැකකරුවන් තිදෙනෙකු රඳවාගෙන  ප්‍රශ්නකිරීමට අවසර

සංජීව ඝාතන සිද්ධිය - තවත් සැකකරුවන් තිදෙනෙකු රඳවාගෙන ප්‍රශ්නකිරීමට අවසර

February 23, 2025   02:07 pm

ගණේමුල්ලේ සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද තවත් සැකකරුවන් තිදෙනෙකු රැඳවුම් නියෝග මත පොලීසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අද (23) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුනි.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගන්නා ලද එම සැකකරුවන් තිදෙනා අද දහවල් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුනවල මහතා හමුවට පමුණුවනු ලැබීය.

ගණේමුල්ල සංජීව ඝාතනය සිදුකළ වෙඩික්කරු ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු සහ ගිනිඅවිය ලබාදීම සම්බන්ධයෙන් අනිත් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

මොවුන් රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන බවත් පොලීසිය දැනුම් දී සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට පොලීසියට අවසර දුන් අතර එහි ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසත් නියෝග කළේය.