මන්නාරමෙන් හමුවු මිනිස් අස්ථි කොටස් ඇමෙරිකාවට යවයි
October 20, 2018 08:42 am
මන්නාරම සමූහ මිනී වලෙන් ඉවත් කළ මනුෂ්‍ය අස්ථි කොටස් කාබන් කාල නිර්ණ පරීක්ෂාව සඳහා අමෙරිකාවේ රසායනාගාරයක් සඳහා යොමු කිරීමට මන්නාරම අධිකරණය විසින් අවසර ලබාදී තිබේ.
මන්නාරම් විශේෂඥ අධිකරණ වෛද්‍ය එස්. රාජපක්ෂ මහතා සඳහන් කළේ ඇමෙරිකාවේ ෆ්ලොරිඩා හි රසායනාගාරයක් වෙත මෙම අස්ථි කොටස් යොමු කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවයි.
අදාළ අස්ථි කොටස් තම භාරය යටතේ මන්නාරම අධිකරණ සංකීර්ණයේ විශේෂ කාමරයක ගබඩා කර ඇති බව ද ඔහු සඳහන් කළේය.
මෙතෙක් දින 90ක කාලයක් මන්නාරම සමූහ මිනී වල තුළ කැණීම් සිදුකර ඇති අතර මේ වන විට සම්පූර්ණ අස්ථි පද්ධති 185ක් නිෂ්චිතව සොයාගැනීමට හැකි වූ බව හෙතෙම පවසයි.
පසුගිය මාර්තු මාසයේදී මන්නාරම පැරණි සතොස ගොඩනැගිල්ල කඩා දැමීමෙන් අනතුරුව එහි ඉවත් කළ පස් ගොඩක තිබී මිනිස් අස්ථි කිහිපයක් හමුවීමත් සමග එම ස්ථානයේ විශේෂ ආරක්ෂාවක් සහිතව කැණිම් කටයුතු ආරම්භ කර තිබුණි.