මාලිගාකන්දේ වෙඩිතැබීම ගැන තවත් තොරතුරු
December 14, 2024 08:52 pm
මාලිගාකන්ද අධිකරණයේ නඩු කටයුත්තකට පැමිණි යුවළක් ඉලක්ක කර ඒ අසලදී අද (14) සිදුකළ වෙඩිතැබීමකින් 40 හැවිරිදි කාන්තාවක් බරපතළ තුවාල ලබා රෝහල්ගත කෙරුණි.
පොලීසිය සැකකරන්නේ වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී ඇත්තේ එම කාන්තාව සමග සිටි පිරිමි පුද්ගලයා වියහැකි බවය.
ඔහු අධිකරණයේ ක්රියාත්මක නඩුවක වරෙන්තුකරුවෙකු බවද පොලීසිය පැවසීය.
වෙඩිතැබීම සිදුකර ඇත්තේ අදාළ නඩුව සඳහා ඔවුන් පැමිණි අවස්ථාවේදීය.
මාලිගාකන්ද අධිකරණ සංකීර්ණය අසලදී මෙම වෙඩිතැබීම සිදුකර තිබුණේ අද පස්වරු 3ට පමණ ය.
එම වෙඩිතැබීම සිදුකර ආකාරය අසල තිබූ CCTV කැමරාවකද සටහන්වී තිබුණි.
පොලීසිය පැවසුවේ මාලිගාකන්ද අධිකරණ සංකීර්ණය අසලින් පාගමනින් යමින් සිටි යුවළක් ඉලක්කර කර යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවය.
වෙඩි තැබීමෙන් තුවාල ලැබුවේ ටී.ඒ. නිලූකා දිල්හානි නමැති කොළඹ 13 ප්රදේශයේ පදිංචි 40 හැවිරිදි කාන්තාවකි.
ඇය බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.
සිද්ධිය සම්බන්ධයෙන් මරදාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.