ගුල්ලෝ ගැසූ හාල් ප්‍රති අපනයනය කරන්නැයි දැනුම්දෙයි

ගුල්ලෝ ගැසූ හාල් ප්‍රති අපනයනය කරන්නැයි දැනුම්දෙයි

December 14, 2024   06:49 pm

පෞද්ගලික ආනයනකරුවන් විසින් ආනයනය කළ බහාලුම් 03ක තිබූ පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝග්‍රෑම් 75,000ක් ප්‍රති අපනයනය කරන ලෙස ශ්‍රී ලංකා රේගුව ආනයනකරුවන්ට දැනුම්දී තිබේ.

එලෙස ආනයනය කරන ලද බහාලුම් දෙකක සහල්වල ගුල්ලන් සිට ඇතැයි අනාවරණවී ඇති අතර අනෙක් බහාලුමේ තිබු සහල් උරවල කල් ඉකුත්වීමට ආසන්න දින සහිත පැරණි ලේබලය මතම නව ලේබලයක් අලවා ඇතැයි හෙළිවීම ඊට හේතුවය.

මෙරට සහල් හිඟයට පිළියමක් ලෙස, සහල් ආනයනය කිරීම සඳහා පෞද්ගලික ආනයනකරුවන්ට රජය ඉකුත් 04 වැනිදා සිට අවසර ලබාදුනි.

ඒ අනුව මේ වනවිට ඉන්දියාවෙන් සහල් ආනයනය කෙරෙමින් පවතින අතර පසුගිය 4 වැනිදා සිට ඊයේ (13) දහවල් දක්වා පෞද්ගලික ආනයනකරුවන් ආනයනය කළ සහල් මෙට්‍රික්ටොන් 2300ක් රේගුව වෙත ලැබී තිබුණි.

ඒ අතරින් 90%ක් පමණ ඊයේ වනවිටම රේගුවෙන් නිදහස් කර තිබුණි.