Back to Top

ජනපතිගේ ප්‍රකාශයෙන් ජවිපෙ කැළඹෙයි

October 13, 2016  



පසුගිය 12වෙනිදා ජනාධිපතිවරයා විසින් පදනම් ආයතනයේදී පැවැති උත්සවයකදී කළ ප‍්‍රකාශයක් මේ වනවිට ආන්දෝලනයට ලක්ව තිබේ. මේ ප‍්‍රකාශය නිකුත් කිරීමත් සමඟ විවිධ පාර්ශව විසින් එම ප‍්‍රකාශය විග‍්‍රහ කරමින් විවිධ අදහස් පළකරමින් තිබේ. වංචා දූෂණ පිළිබඳව විමර්ශන කටයුතු කරන නිලධාරීන්ද මේ ප‍්‍රකාශයෙන් අධෛර්යට පත්ව ඇති බව ජවිපෙ මන්ත‍්‍රීවරුන්ට දැනගන්නට ලැබී ඇත. විද්වත්හු කිහිප දෙනෙක්ම දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහටද දුරකථන ඇමතුම් ලබාදෙමින් මේ ගැන කතා කළහ.

”මන්ත‍්‍රීතුමා මේ මොකක්ද ජනාධිපතිතුමා කිව්වේ. අපිට හිතාගන්න අමාරුයි මොකක්ද වෙන්න යන්නේ කියලා. මේකෙන් පරීක්ෂණ කරන නිලධාරීන් නේද අපහසුතාවයට පත්වෙන්නේ” ඔවුහු ඉදිරි පරීක්ෂණ කටයුතු පිළිබඳ අවිනිශ්චිතභාවයද සමගින් කතා කළෝය. වසන්ත සමරසිංහ පෙරළා දුරකථන ඇමතුමක් ගත්තේ විජිත හේරත් මන්ත‍්‍රීවරයාටය. ”ජනාධිපතිතුමාගේ ප‍්‍රකාශයෙන් සී.අයි.ඩී, එෆ්.සී.අයි.ඩී., වංචා දූෂණ විමර්ශන කොමිසමේ, අල්ලස් කොමිසමේ නිලධාරීන් අපහසුතාවයට පත්වෙනවා නේද? මොකක්ද මේ ගැන අපි කරන්නේ” වසන්ත සමරසිංහ විමසීය.

”ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශය බරපතළ එකක්. ජනාධිපතිතුමා ඇවන්ට්ගාඞ් ගැන කතා කළානේ. ඇවන්ට්ගාඞ් නඩුව දාලා තියෙන්නේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමෙන්. ඒ කියන්නේ ස්වාධීන කොමිසමක්. ඒ ආයතනයෙන් පරීක්ෂණ කටයුතු කරන කොට ජනාධිපතිට කියන්න අවශ්‍ය නැහැ. මේ කතා කරන්නේ යහපාලනයට පස්ස හරවලා.” විජිත හේරත් කීවේය.

”නිලධාරීන් කලකිරෙන එක පුදුමයක් නෙමෙයි” වසන්ත සමරසිංහ කීවේය. ”මටත් දුරකථන ඇමතුම් කිහිපයක් ආවා. අපි දිගටම කිව්වා වංචා දූෂණ පිළිබඳව නීතිමය කටයුතු කරන්න වෙනම අධිකරණයක් පිහිටුවන්න කියලා. ඉඩම් නඩු, දික්කසාද නඩු, වාණිජ නඩුවලට වෙනම අධිකරණ තියෙනවා. වංචා දූෂණවලටත් වෙනම අධිකරණයක් දාන්න පුළුවන්. අගවිනිසුරුට පොඩි දෙයක් කරන්න තියෙන්නේ. ආණ්ඩුවට වුවමනාවක් නැති එකයි ප‍්‍රශ්නේ. අපි මේ ගැන පාර්ලිමේන්තුවෙත් කතා කරලා තියෙනවා. ඒවා කරන්නේ නැතිව පරීක්ෂණවලට බාධා වෙන මේ වගේ ප‍්‍රකාශ කරනවා” විජිත හේරත් කීවේය.

මේ අතර ජනාධිපතිවරයාගේ මෙම ප‍්‍රකාශයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ‘අපරාධ පිළිබඳ පරීක්‍ෂණ හා නෛතික කටයුතු දුර්වල කරන ප‍්‍රකාශ එපා!’ යනුවෙන් නිවේදනයක් නිකුත් කළ අතර දූෂණ විරෝධී හ`ඩ සංවිධානය මාධ්‍ය හමුවක් පවත්වමින් මේ ප‍්‍රකාශය මගින් වංචා දූෂණ පිළිබඳව සිදුකරන පරීක්ෂණ අඩාල වන බවත් නිලධාරීන් අකර්මණ්‍ය වන බවත් පැවසීය.


MOST VIEWED VIDEO STORIES

MORE >>