Back to Top

ඇයි සභාපතිතුමා මීඩියාවලින් මොනවද හංගන්න තියෙන්නේ

December 30, 2016  



මේ දිනවල සහල් හිඟයක් පිළිබඳව විශාල ආන්දෝලනයක් මතුව තිබේ. මේ පිළිබඳව ආණ්ඩුව සම්පූර්ණ වගකීම භාරගත යුතු බව ජවිපෙ ගොවි සංගමය වන සමස්ත ලංකා ගොවිජන සම්මේලනය චෝදනා කරයි. මේ අතර ඇමතිවරයා විසින් වී අලෙවි මණ්ඩලයේ වී තොග අතරමැදියන් හට අඩුමුදලට විකුණා දැමීමට කළ උත්සහයක් වැළැක්වීමට ගොවිජන සම්මේලනයේ නාමල් කරුණාරත්න ඇතුළු පිරිසකට සහ කුඩා මෝල් හිමියන් පිරිසකට පසුගියදා හැකි විය. මහව වී තොග ගබඩාවෙන් මේ ආකාරයෙන් වී තොග අතරමැදියන් මගින් මහා පරිමාණ මෝල් හිමියන්ට විකුණා දැමීමට ආසන්නව තිබියදී එම ලොරි රථ ආපසු හරවා යැවීමට ගොවිජන සම්මේලනය සහ කුඩා මෝල් හිමියෝ කටයුතු කළහ. ඉන්පසුව ඔවුන් තීරණය කළේ වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා හමුවී මේ පිළිබඳව ප‍්‍රශ්න කිරීමටය.

මේ අනුව පසුගිය 28වෙනිදා පස්වරුවේ වී අලෙවි මණ්ඩලයට පැමිණි කුඩා මෝල් හිමියන්ට සහ ගොවිජන සම්මේලනයේ නායකයින්ට වී අලෙවි මණ්ඩලය තුළට යෑමට බාධා එල්ල විය. නාමල් කරුණාරත්න සභාපතිවරයාට ඇමතුමක් ගත්තේ ඉන් අනතුරුවය

”මේක රටේ කෝටි දෙකක් ජනතාවගේ ප‍්‍රශ්නයක්. ඒ නිසා අපිට අවස්ථාවක් දෙන්න සාකච්ඡා කරන්න” නාමල් කරුණාරත්න කීවේය. ”මීඩියා නැතුව එන්න” සභාපතිවරයා කීවේය.

”ඇයි සභාපතිතුමා මීඩියාවලින් මොනවද හංගන්න තියෙන්නේ” නාමල් කරුණාරත්න ප‍්‍රශ්න කළේය. කෙසේ වෙතත් ඔවුහු අනතුරුව සභාපතිවරයා හමුවීමට අවස්ථාවක් ලබාගත්තෝය.

”ආණ්ඩුවේ වී තොග රුපියල් 43ට අතරමැදියන්ට විකුණනවා. මේකෙන් ඇමතිට කොමිස් යනවා. අතරමැදියන් රු.43ට අරගෙන රු.49ට රු.53ට විකුණනවා. මේකෙන් ආණ්ඩුවට කෝටි ගාණක පාඩුවක් වෙනවා. ඔබතුමාට මේ ගැන පියවරක් ගන්න පුළුවන්” නාමල් කරුණාරත්න කීවේය.

 ”ඔබතුමාලා සංදේශයක් දෙන්න ආවානම් එක දීලා යන්න. මට විතරක් තීරණ ගන්න බැහැ. මම ඉහළට යොමු කරන්නම්” සභාපතිවරයා කීවේය.

”ඇයි ඔබතුමාට බැරි. මේක කෝටි දෙකක ජනතාවගේ ප‍්‍රශ්නයක්. ඔබතුමා ක‍්‍රියාත්මක නොවෙන්නේ ඔබතුමාටත් මේ වැඩෙන් කොමිස් මුදල් එන නිසා කියලා අපිට සැකයි.” නාමල් කරුණාරත්න චෝදනාවක්ද කළේය. කෙසේ වෙතත් විසඳුමක් නොමැතිව සාකච්ඡාව අවසන් විය.

 ”ඇමතිවරයයි සභාපතිවරයයි දෙන්නම කොමිස්වලට වී අඩු මුදලට විකුණනවා. අපි මේක අතාරින්නේ නැහැ. ආණ්ඩුවේ වී තොග කුඩා මෝල් හිමියන්ට ලබාදෙන්න  ඕනෑ. එහෙම කළොත් රුපියල් 70ට අඩුවෙන් ජනතාවට හාල් දෙන්න පුළුවන්. ඒ වගේම සහල්වලට පාලන මිලක් දාන්න  ඕනෑ. එහෙම නැති නිසා දැන් හාල් 95ට ගන්න වෙලා.” නාමල් කරුණාරත්න කීවේය.


MOST VIEWED VIDEO STORIES

MORE >>