Back to Top

නාවික හමුදාපති ගැන සැඟවුණු රහසක්

December 15, 2016  




හම්බන්තොට වරාය සේවකයින්ගේ රැකියා ස්ථිර කිරීම සහ හම්බන්තොට වරාය චීන සමාගමට විකිණීම පදනම් කොටගෙන වරාය වෘත්තීය සමිති විසින් සටනක් දියත් කිරීමට තීරණය කිරීමත් සමග රටේ කතාබහ ඒ දෙසට යොමු විය. නාවික හමුදාපති මාධ්‍යවේදියෙකුට පරදීමත් සමග තත්වය තවත් උණුසුම් විය. වත්මන් ආණ්ඩුවේ ආර්ථික උපායමාර්ගය රටේ සම්පත් විකිණීම බව කතාබහට ලක්කළේ ජනතා විමුක්ති පෙරමුණය. මේ සම්බන්ධ මාතෘකාව එතරම් සංවාදයට ලක්නොවුණද හම්බන්තොට වරාය චීන සමාගමකට පවරාදීමට ආණ්ඩුව ගිවිසුම් අත්සන් කිරීමට යෑමත් සමග විකිණීමේ ක‍්‍රියාවලිය ඇරඹී ඇති බව ජනතාවට දැනෙන්නට පටන් ගත්තේය. මෙම ක‍්‍රියාවලියට විරෝධය පළකරමින් උද්ඝෝෂණ ක‍්‍රියාමාර්ග ගැනීමට ලාල්කාන්තගේ සභාපතිත්වයෙන් යුත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය තීරණය කළේය. අනතුරුව කොළඹ වරාය වෘත්තීය සමිති සමඟ මේ සම්බන්ධව සාකච්ඡුා කිරීමෙන් අනතුරුව වෘත්තීය කි‍්‍රයාමාර්ග ගැනීමට වෘත්තීය සමිති පියවර ගත්තේය. ඊට සමගාමීව හම්බන්තොට වරාය සේවකයෝද තමන්ගේ ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් උද්ඝෝෂණ ක‍්‍රියාමාර්ගයකට අවතීර්ණ වූහ. මේ අවස්ථාවට ජවිපෙ දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්තද සහභාගි වූ අතර ජවිපෙ උද්ඝෝෂකයින්ට සහය පළකළේය. ”මන්ත‍්‍රීතුමා අපිව මුලින්ම රැුවැට්ටුවේ රාජපක්ෂ ආණ්ඩුව. අපි වරායට ගත්තේ වරාය සේවකයින් ලෙස නෙවෙයි. පෞද්ගලික ආයතනයක් හදලා ඒ ආයතනයේ සේවකයින් විදියට තමයි අපි වරායේ වැඩ කළේ.” සේවකයෙක් තම ගැටලූ ලාල්කාන්තට ඉදිරිපත් කළේය. ”ඒ විතරක් නෙවෙයි අපිව ස්ථීර කරනවා කියලා පොරොන්දුවකුත් දුන්නා. ස්ථිර කළේ නැහැ. මේ ආණ්ඩුව ආවට පස්සෙත් ඒ වැරැුදි නිවැරදි වුණේ නැහැ.” තවත් සේවකයෙක් කීවේය. ”රාජපක්ෂ ආණ්ඩුව කාලේ අපිව දේශපාලන වැඩවලට යොදාගත්තා. වරායේ සේවකයින් කියලා අපිට කිසිදු අයිතියක් දුන්නේ නැහැ. මූලික පඩිය දහදාහට තමයි අපිව බඳවාගත්තේ.” තවත් සේවකයෙක් පැවසීය. ”ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගේ දැන් මේ ආණ්ඩුව වරාය චීනෙට විකුණන්න යනවා. ස්ථිර කරලා නැති අපිට ජොබ් එක නැතිවෙන්න යන්නේ” තවත් සේවකයෙක් තමන්ගේ රැකියා අනාරක්ෂිතභාවය ගැන කරුණු පැහැදිලි කළේය. ”පහුගිය ආණ්ඩුවේ වැරදි හදන්න ආපු මේ ආණ්ඩුව වැරදි හදනවා වෙනුවට තව තවත් වැඩියෙන් වැරදි කරනවා. මේ විකිණිල්ල මෙතනින් නතර වෙන්නේ නැහැ. තවත් රාජ්‍ය ආයතන ලිස්ට් එකක් තියෙනවා විකුණන ලැයිස්තුවේ. අපි ඒ හැම එකටම විරුද්ධව පාරට බහින්න  ඕනෑ. වරාය සේවකයෝ විදියට ඔබලා ඒ සටන ආරම්භ කිරීමේ ගෞරවය ඔබලට ලැබෙන්න  ඕනෑ. ජනාධිපතිතුමා කතා කරන්නේ හරියට හැම දෙයක්ම සාකච්ඡාවෙන් විසඳනවා වගේ. ඒත් ඒක කපටිකමක්. ප‍්‍රශ්න කල්දාන එකයි කරන්නේ. බස් වර්ජනය වෙලාවෙත් සංගම් කැඳවලා ලොකු ප්‍රෝඩාවක් කළා. ඒ නිසා සටනකින් තොරව මේ ආණ්ඩුවට බලපෑමක් කරන්න බැහැ.” ලාල්කාන්ත පිළිතුරු දුන්නේය.

නාවික හමුදාපති ගැන සැඟවුණු රහසක්

වරාය සේවකයින්ගේ උද්ඝෝෂණයේදී වත්මන් නාවික හමුදාපතිවරයා විසින් මාධ්‍යවේදියෙකුට පහරදීමත් සමඟ ඔහු පිළිබඳව විවිධ මාතෘකා නිර්මාණය වීමට පටන් ගත්තේය. මෙම නාවික හමුදාපතිවරයා පිළිබඳ අප‍්‍රකට කරුණක් ජවිපෙ මන්ත‍්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස සුනිල් හඳුන්නෙත්තිට මතක් කර කර දීමට කටයුතු කළේය.

”මේ නාවික හමුදාපතිවරයාට සම්බන්ධ පරණ කතාවක් තියෙනවා. යෝෂිත රාජපක්ෂට නියමිත සුදුසුකම් නැතිව නාවික හමුදාවේ ඉහළ තනතුරක් ලබාදීම ගැන විමර්ශනය කරන්න කියලා අපි ආරක්ෂක ලේකම්ට ලිපියක් දුන්නා. ඒ වෙලාවේ විමර්ශනවලට කැඳවපු ප‍්‍රධාන නිලධාරියා මේ නාවික හමුදාපතිවරයායි. ඔහු තමයි යෝෂිත රාජපක්ෂට සියලූ පහසුකම් ලබාදෙමින් ඔහුගේ සුදුසුකම්වලට එහා ගිය නිලතල ලබාදෙන්න කටයුතු කරලා තිබුණේ.” නලින්ද ජයතිස්ස මන්ත‍්‍රීවරයා පැහැදිලි කළේය. ”හරි හරි... ඒක තමයි රහස. හමුදාපති විදියට උඩට එන්න ලැබිලා තියෙන්නෙත් රාජපාක්ෂික වුණ නිසා වෙන්න ඇති. එහෙම කරපු කෙනා දැන් මේ ආණ්ඩුවේ අවධානය ගන්න මාධ්‍යවේදීන්ට පහර දෙනවා. මේවා ජනතාවත් දැනගන්න  ඕන දේවල්” සුනිල් හඳුන්නෙත්ති ජයතිස්ස මන්ත‍්‍රීවරයාට කියා සිටියේය.

කැප්පෙටිපොල ජාතික වීරයෙක් ලෙස නම්කිරීම ආරම්භ වුණේ 2004දී.

කැප්පෙටිපොල මහ දිසාව ඇතුළු ඌව වෙල්ලස්ස කැරැුල්ලට සම්බන්ධවූවන් පිරිසක් රාජ්‍ය ද්‍රෝහීන් වෙනුවට ජාතික වීරයින් ලෙස නම් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇති බවට පුවත් පළවීමත් සමඟ සංස්කෘතික අමාත්‍යංශයේ නිලධාරීන් කිහිප දෙනෙක් ජවිපෙ විජිත හේරත් මන්ත‍්‍රීවරයාට සහ සමන්ත විද්‍යාරත්නට දුරකතන ඇමතුම් ලබාදුන්නෝය. ”මන්ත‍්‍රීතුමා ඔබතුමාලා අමාත්‍යංශයේ ඉන්නකොට නේද මේ තීරණය ගත්තේ” නිලධාරීන් කිහිප දෙනෙක්ම විමසා සිටියහ. මේ දුරකථන ඇමතුම් නිසාම සමන්ත විද්‍යාරත්නද විජිත හේරත්ට දුරකථන ඇමතුමක් ලබාදෙමින් ”අපි අමාත්‍යංශයේ ඉන්නකොට තීරණය ගත්තටද ඒක හරියට ක‍්‍රියාත්මක වෙලා නැහැ නේද?” යි විමසීය. ”ඔව්, අපි අමාත්‍යංශයෙන් ඉවත් වෙන්න ආසන්න වෙනකොටනේ මේ තීරණය ගත්තේ ඒ නිසා මොකද වුණේ කියලා දැනගන්න අපිට බැරිවුණා නේද? කොහොම හරි අවුරුදු 11කට පස්සේ මේ තීරණය ක‍්‍රියාත්මක වීම නම් වටිනවා” විජිත හේරත් කීවේය.

2004 නොවැම්බර් මාසයේදී එවකට සංස්කෘතික නියෝජ්‍ය ඇමති සමන්ත විද්‍යාරත්න මහනුවර කැප්පෙටිපොල පිළිමය අසලදී කැප්පෙටිපොල පරම්පරාවේ ඥාතීන් පිරිසක් ඉදිරියේ කැප්පෙටිපොල ඇතුළු පිරිසක් ජාතික වීරයින් ලෙස නම් කළේය. නමුත් ඔවුන්ගේ රාජසන්තක කළ ඉඩම් පිළිබඳව තිබූ නීතිමය ගැටලූ නිරාකරණයට පාර්ලිමේන්තුවේ පනතක් සහ ගැසට් පත‍්‍රයක් සම්පාදනය කළ යුතුව තිබිණි. කෙසේ වෙතත් පැවැති පාලනයන් තුළ එය නිසියාකාරව සිදු නොවූ අතර පසුගිය 2017 අයවැය විවාදයේදී මේ පිළිබඳව විජිත හේරත් මන්ත‍්‍රීවරයා වත්මන් සංස්කෘතික ඇමතිවරයාගේ අවධානය යොමු කළේය.

විජිත, එරාන්, දිල්රුක්ෂි මානව හිමිකම් දින සැමරුමේ

ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් මානව හිමිකම් විද්වත් සංසදය මගින් සංවිධානය කළ උත්සවයක් පසුගියදා කදිරගාමර් මධ්‍යස්ථානයේදී පැවැත්විණි. එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත්, එරාන් වික‍්‍රමරත්න, අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් ප‍්‍රධාන ආරාධිතයෝ ලෙස සහභාගි වූහ. එහි ප‍්‍රධාන දේශනය පැවැත්වූයේ දිල්රුක්ෂි ඩයස් විසිනි. ”මානව හිමිකම් දිනයේ උත්සවයට හිටපු අධ්‍යක්ෂ ජනරාල්තුමිය සහභාගි වීම සතුටට කරුණක්. නමුත් ප‍්‍රශ්නය තියෙන්නේ එතුමියගේ මානව හිමිකම් ගැන කතා කරන්න කවුරුවත් ඉදිරිපත් වුණේ නැති එකයි. එතුමියගේ තනතුර නැති වුණා. ඒ විතරක් නෙවෙයි එතුමියට අභූත චෝදනාත් එල්ල වුණා. ඒ ගැන පාලකයින්ගේ අවධානය යොමු නොවීම කණගාටුවට කරුණක්” විජිත හේරත් තම කතාවේදී ප‍්‍රකාශ කළේය. ”මම තනතුරෙන් ඉවත් වුණාට වංචාවට දූෂණයට එරෙහිව කරන අරගලය මම මැරෙනතුරු අත්හරින්නේ නැහැ” දිල්රුක්ෂි ඩයස් සිය ප‍්‍රධාන දේශනය පවත්වමින් කියා සිටියේය.

උත්සවයෙන් අනතුරුව තේපැන් සංග‍්‍රහයක් පැවැත්වුණු අතර එම අවස්ථාවටද ප‍්‍රධාන ආරාධිත පිරිස සහභාගි වූහ. එම අවස්ථාවට එක්වූ වූ නීතිඥවරු, විශ්වවිද්‍යාල ආචාර්යවරු ඇතුළු පිරිසක් දිල්රුක්ෂි ඩයස්, විජිත හේරත් ඇතුළු ආරාධිතයින් සමග කතාබහක නියැලූණහ. ”දිල්රුක්ෂි ඩයස්ට යන්න වුණේ ආණ්ඩුවේ ඇමතිලාගේ ෆයිල්  ඕපන් කරපු නිසා” එම අවස්ථාවේ බොහෝ දෙනාගේ කතාබහට ලක්විය.



MOST VIEWED VIDEO STORIES

MORE >>