Back to Top

මේ ආණ්ඩුවත් යන්නේ පරණ ආණ්ඩුව ගිය පාරේම තමයි

September 8, 2016  



පසුගිය සඳුදා දිනයේදී රැස්වූ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය තුළ විශේෂ අවධානයක් යොමු වුණේ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කරන ක‍්‍රියාමාර්ග පිළිබඳවය.

”මේ ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය විකිණීමම පමණයි. එක්සත් ජාතික පක්ෂය වෙනම ආණ්ඩු කරනකොට රජයේ ආයතන වික්කා. ශ‍්‍රීලනිපය වෙනම ආණ්ඩු කරනකොට වික්කා. දැන් එජාපය ශ‍්‍රීලනිපය එකතු වෙලා ආණ්ඩු කරනකොටත් විකුණනවා. හොඳටම පැහැදිලියි ,මේ පක්ෂ දෙකේ ප‍්‍රතිපත්තිවල වෙනසක් නැහැ කියන එක.” ටිල්වින් සිල්වා කීවේය.

”රටේ ණය ගෙවාගන්න විදියක් නැහැ කියලා කෙඳිරිගාන ආණ්ඩුව ආදායම වැඩි කරගන්න විදියක් කල්පනා කරන්නේ නැහැ. ඒ වෙනුවට ආණ්ඩුව කරන්නේ ඉතිරිවෙලා තියෙන රජයේ ආයතන ටිකත් ‘පාඩුයි’ කියන ලේබලය ගහලා පෞද්ගලික අංශයට දෙන්න කටයුතු කරන එක. ආයතන විකුණලා දාන්න ආණ්ඩුවක්  ඕන නෑ. අනෙක් කාරණය තමයි පහුගිය කාලේ විකුණපු ආයතන ඇස්පනාපිටම බංකොළොත් වෙලා තියෙනවා. විකුණපු ආයතන ගැන සමීක්ෂණයක්වත් නොකර මේ ආණ්ඩුව ඒ වැරද්දම කරගෙන යනවා.” අනුර දිසානායක කීවේය.

”ඔව්, ආයතනයක් හරියට කළමනාකරණය කරලා ලාභයක් ගන්න බැරි ආණ්ඩුව රටේ ආර්ථිකය ගොඩගන්නේ කොහොමද?” ප‍්‍රධාන ලේකම්වරයා පක්ෂ නායකයාගේ අදහස අනුමත කළේය.

”වරාය විකුණන්න දැනටමත් කැබිනට් අනුමැතිය අරගෙන. එයාර් ලංකා එකත් විකුණන්න යනවා. ඒ විතරක් නෙවෙයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු එකතු කරන එකත් පුද්ගලික ආයතනයකට දෙන්න යනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු එකතු කරන්න අලූත් පරිගණක වැඩසටහනක් හදලා 90% වැඩ අවසන් කරලා තියෙද්දී තමයි ආණ්ඩුව මේක පෞද්ගලික අංශයට දෙන්න යන්නේ. අපේ වෘත්තීය සමිති මැදිහත් වෙලා වෘත්තීය ක‍්‍රියාමාර්ග ගන්න යනවා. අපේ වෘත්තීය සමිතියේ ලේකම් මට මේ ගැන විස්තර දුන්නා. මැකෙන්සි කියන විදේශ සමාගම එක්ක දැනටමත් ගිවිසුම් ගහලා. වාර්ෂිකව ඒ සමාගමට රුපියල් මිලියන 23ක් ගෙවන්න යනවා.” විජිත හේරත් කියා සිටියේය.

”මේ ආණ්ඩුවත් යන්නේ පරණ ආණ්ඩුව ගිය පාරේම තමයි. සයිටම් එක ගැන මේ ආණ්ඩුවේ ස්ථාවරය ගත්තාම ඒක හොඳට පැහැදිලි වෙනවා. පරණ ආණ්ඩුව කාලේ පටන් ගත්ත සයිටම් එක මේ ආණ්ඩුව කිසි ප‍්‍රශ්නයක් නැතිව පවත්වාගෙන යනවා. කිරිඇල්ල ඇමතිවරයා කියන්නේ සයිටම් එක වහන්නේ නැහැ කියලා. එස්.බී. දිසානායක වගේ ඇමතිවරු සයිටම් එකේ ආරක්ෂකයෝ වෙලා. ආණ්ඩුවේ සහයෙන් පවත්වාගෙන යන්න තමයි සැලසුම් හදන්නේ” සුනිල් හඳුන්නෙත්ති කීවේය.

”අපි මේ විකිණීමට එරෙහිව විරෝධතා කි‍්‍රයාමාර්ග ගන්න  ඕනෑ. ඒ නිසා මුලින්ම මේ ආණ්ඩුවේ ආර්ථික ප‍්‍රතිපත්ති ගැන, විකිණීම ගැන, විදේශ රටවල් එක්ක ගහන රටට අවාසි ගිවිසුම් ගැන ජනතාව දැනුවත් කරන්න  ඕනෑ. ඒ නිසා රටපුරා සම්මන්ත‍්‍රණ මාලාවක් සංවිධානය කරමු” අනුර දිසානායක යෝජනා කළේය.


සිරිල් සී පෙරේරාගේ පුතණුවන් බිමල් රත්නායක සමග පියා ගැන අතීතාවර්ජනයක.. 

ලෝක සාහිත්‍යයේ සම්භාව්‍ය ග‍්‍රන්ථ රාශියක් සිංහලයට පරිවර්තනය කළ සිරිල් සී පෙරේරා කලාකරුවාණන් පසුගියදා මෙලොවින් සමුගත්තේය. සිරිල් සී පෙරේරා රුසියන් සාහිත්‍ය කෘති ගණනාවක්ද සිංහලයට පරිවර්තනය කිරීමත් සමඟ ඔහුගේ පරිවර්තන කෘති පාඨකයින්ගේ වැඩි අවධානයක් දිනා ගත්තේය. මෙම මහා සාහිත්‍යකරුවාගේ අභාවය සැලවීමත් සමඟ අභාවය පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණේ ශෝකය පළකිරීම සඳහා දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක කළුබෝවිල පිහිටි සිරිල් සී පෙරේරාගේ පැරණි, ඉතාමත් චාම් නිවසට ගියේය. සිරිල් සී පෙරේරාගේ දුවට සහ පුතාට පක්ෂයේ ශෝකය පළකළ බිමල් රත්නායක මන්ත‍්‍රීවරයා ඔවුන් සමඟ  සාහිත්‍යකරුවාණන්ගේ සාහිත්‍යකරණය පිළිබඳව අතීතාවර්ජනයක නිරත වීමටද අමතක නොකළේය. පුතා විසින් සිය පියාගේ පුස්තකාලය වෙත බිමල් රත්නායක මන්ත‍්‍රීවරයා කැඳවාගෙන ගියේය. සිරිල් සී පෙරේරා විසින් පරිවර්තනය කළ කෘති ඉදිරියෙන්ම අසුරා තිබූ අතර ලෝක සාහිත්‍යයේ ඇගයීමට ලක්වූ විශාල කෘති ගණනාවක් පුස්තකාලය තුළ විය. ”සිරිල් සී පෙරේරා මහත්තයා පරිවර්තනය කළ පොත් සියල්ලම වාගේ මම කියවලා තියෙනවා. මට කියවන්න බැරි වුණේ ‘ලියක මහිම’ කෘතිය විතරයි” බිමල් රත්නායක කීවේය. පුතා විසින් සිය පියාණන්ගේ ගෘහ නිර්මාණ පිළිබඳවත් සාහිත්‍යකරණයේ විශේෂ අවස්ථා පිළිබඳවත් මන්ත‍්‍රීවරයා සමඟ කතාබහ කළේය.

මේ අතර දෙහිවල-ගල්කිස්ස නගර සභාවේ ජවිපෙ හිටපු නාගරික මන්ත‍්‍රීනි සමන්මලී ගුණසිංහ විසින් නාගරික කොමසාරිස්ට දුරකතන ඇමතුමක් ලබාදී සිරිල් සී පෙරේරාගේ අවසන් කටයුතු කටයුතු සඳහා නගර සභාවේ මැදිහත්වීම ලබාදීමට කටයුතු කළාය. ඒ සඳහා අවශ්‍ය ජලපහසුකම් ඇතුළු සේවා කටයුතුවලටද සැරසිලි කටයුතු සඳහාද නගර සභාවේ සහාය ලබාදීමට මන්ත‍්‍රීවරියට හැකි විය.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති ව්‍යාපාරය වන ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් වාර්ෂිකව පවත්වනු ලබන කලා උළෙල වන ‘දහදිය සිත්තම’ කලා උළෙල මගින් 2009 වර්ෂයේදී සාහිත්‍ය වෙනුවෙන් සිදුකළ මෙහෙවර අගයමින් විශේෂ සම්මානයක් සිරිල් සී පෙරේරා මහතා වෙත පිරිනැමීමට කටයුතු කර තිබුණි.

කලාවේ ගැටලූ රැසක් පාර්ලිමේන්තුවට.. 

පසුගිය කාලවකවානු තුළ අවස්ථා කිහිපයකදීම කලාකරුවන් විසින් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රීවරුන් හමුවී කලා ක්‍ෂෙත‍්‍රයේ ගැටලූ ගණනාවක් පිළිබඳව සාකච්ඡා කළහ. මේ අතර චිත‍්‍රපට කර්මාන්තයේ ගැටලූද ටෙලි නාට්‍ය ක්‍ෂෙත‍්‍රයේ ගැටලූද, වේදිකා නාට්‍ය ක්‍ෂෙත‍්‍රයේ ගැටලූද රාජ්‍ය කලා උළෙල සඳහා ආණ්ඩුවේ නොසැලකිල්ල පිළිබඳවද සාකච්ඡාවට බඳුන් විය. කලාකරුවන්ගේ මෙම ගැටලූ පිළිබඳව පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරවීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම කල්තැබීමේ විවාදයක් යෝජනා කළේය.

ඒ අනුව වෛද්‍ය නලින්ද ජයතිස්ස මන්ත‍්‍රීවරයා කලාකරුවන් හමුවී ක්‍ෂේත‍්‍රයේ ගැටලූ පිළිබඳව සාකච්ඡුා කොට කරුණු එක්රැස් කළේය. මන්ත‍්‍රීවරයා අවස්ථා කිහිපයකදී නාලන් මෙන්ඩිස්, ගිහාන් ප‍්‍රනාන්දු, කුමාර තිරිමාදුර, දමිතා අබේරත්න, දිපානී සිල්වා, අනුරුද්ධ ජයසිංහ, චන්ද්‍රසෝම බිංදුහේවා ඇතුළු කලාකරුවන් රැසක් හමුවී සාකච්ඡා පැවැත්වීය. එමෙන්ම හමුවීමට නොහැකි වූ ශ‍්‍රියන්ත මෙන්ඩිස් ඇතුළු කලාකරුවන් පිරිසක්ද දුරකතනයෙන් මන්ත‍්‍රීවරයා අමතා විවාදයේදී අවධාරණය කළ යුතු කරුණු පෙන්වාදුන්නේය. ඒ අනුව සැප්තැම්බර් 08වෙනිදා කල්තැබීමේ විවාදය පාර්ලිමේන්තුවේදී යොදාගැනීමට ජවිපෙ මන්ත‍්‍රී කණ්ඩායම කටයුතු සංවිධානය කළේය. එම විවාදය නැරඹීම සඳහා කලාකරුවන් විශාල පිරිසක් පාර්ලිමේන්තුවට පැමිණ සිටියහ.


MOST VIEWED VIDEO STORIES

MORE >>