Back to Top

ඔබතුමාටත් කෝටි ගාණක වාහනයක් දෙන්න යනවා නේද?

August 18, 2016  


පසුගිය සතියේ සතිඅන්ත පුවත්පතක ප‍්‍රධාන පුවත බවට පත්ව තිබුණේ කෝප් කමිටුවට සහ ගිණුම් කාරක සභාවේ සභාපතිවරුන්ට වාහන දෙකක් සඳහා කෝටි නමයක මුදලක් වෙන් කර ඇති බවය. එම පුවතත් සමග අනෙකුත් මාධ්‍යවේදීහුද කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයා දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට යුහුසුළු වූහ. මේ අතර මෙම පුවත ගැන ආරංචි වූ ගිණුම් කාරක සභාවේ සභාපති ලසන්ත අලගියවන්නද සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයාට දුරකතන ඇමතුමක් ලබාදුන්නේ විදෙස්ගතව සිටියදීය. ”මොකක්ද මන්ත‍්‍රීතුමා මේ වාහන ප‍්‍රශ්නේ” ලසන්ත අලගියවන්න විමසීය. ”ඒක තමයි මමත් බැලූවේ. මම නම් වාහන ඉල්ලූවේ නැහැ. මට පක්ෂයෙන් වාහනයක් දීලා තියෙනවා. පාර්ලිමේන්තුවට යන්න වාහනයයි කෝප් කමිටුවට යන්න වාහනයයි කැන්ටිමට යන්න වාහනයයි  ඕන නෑනේ. මම මේ ගැන හොයලා බලන්නම්.” සුනිල් හඳුන්නෙත්ති කීවේය. ”මේ ගැන පාර්ලිමේන්තුවේ වරප‍්‍රසාද ප‍්‍රශ්නයක් අහන්න  ඕනෑ. මටනම් තවම අමාත්‍යංශයේ වාහන දෙකවත් ලැබිලා නැහැ” ලසන්ත අලගියවන්න කීවේය.

”මන්ත‍්‍රීතුමා ඔබතුමාටත් කෝටි ගාණක වාහනයක් දෙන්න යනවා නේද?” මේ අතර මාධ්‍යවේදියෙක් කෝප් සභාපතිවරයාගෙන් විමසීය. ”මම නම් වාහන ඉල්ලා නැහැ. මම කෝප් එකේ ලේකම්තුමියගෙන් ඇහුව්වා මේ ගැන දන්වලා තියෙනවද කියලා. එතුමිය කිව්වා ලිඛිතව කිසිම දෙයක් දන්වලා නැහැ කියලා. මීට කලිනුත් ඔය වගේම ප‍්‍රවෘත්තියක් පළවුණා. ඒ වෙලාවෙත් මම කිව්වා මට වාහන  ඕන නෑ කියලා. මීට වඩා අඩුපාඩු ගොඩක් තියෙනවා කෝප් එකේ. භාෂා පරිවර්තන කරලා නැහැ, පරිගණක නැහැ. ගබඩා පහසුකම් නැහැ. නිලධාරීන්ට විධිමත් පුහුණුවක් නැහැ. ඉල්ලන ඒවා නොදී එපා කියද්දී ආණ්ඩුව වාහනයක් ඇඟේ ගහන්නේ ඇයි? සල්ලි නැහැ කිය කියා ජනතාවට බදු ගහලා කරන වැඩද මේ.” සුනිල් හඳුන්නෙත්ති මාධ්‍යවේදියාට පිළිතුරු දුන්නේය.


MOST VIEWED VIDEO STORIES

MORE >>