Back to Top

හොරුන්ට ජයවේවා!

July 14, 2016  



නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමත් සමග දූෂණ විරෝධී හඬ සංවිධානය පිළිබඳවත් කතාබහට ලක්වීමට පටන් ගත්තේය. නාමල් රාජපක්ෂගේ ක‍්‍රිෂ් ගණුදෙනුව පිළිබඳව මහා පරිමාණ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයට පසුගිය වසරේ මැයි මාසයේදී පැමිණිල්ලක් ඉදිරිපත් කළේ දූෂණ විරේධී හඬ කැඳවුම්කරු ජවිපෙ පළාත් සභා මන්ත‍්‍රී වසන්ත සමරසිංහ විසිනි. එම පැමිණිල්ලේ වැඩිදුර පරීක්ෂණ එෆ්.සී.අයි.ඩී.ය විසින් සිදුකරන ලද අතර ප‍්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව කෝටි 7ක වංචාවක් සිදුවී ඇති නිසා නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනිණි.

”මේකත් දේශපාලන පලිගැනීමක්” ඒකාබද්ධ විපක්ෂය චෝදනා කළේය. ”ඔබට සතුටුයිද දැන්” මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් ඇසීය. මේ අතර ආණ්ඩුව පැහැදිළි කිරීම වූයේ දූෂණ විරෝධී හඬසංවිධානයේ පැමිණිල්ලක් විමර්ශනය සිදුකළා මිස එහි දේශපාලන පළිගැනීමක් නැති බවය.

මේ අතර ජවිපෙ නායකයින් අතරද මේ පිළිබඳව සාකච්ඡාවට බඳුන් වූයේ ගල් අඟුරු මගඩිය පිළිබඳව නව පැමිණිල්ලක් සකස් කරන අතරේය. ”නාමල්ට විතරක් නෙමෙයි තවත් වංචා දූෂණ 17ක් ගැන අපි පැමිණිලි කරලා තියෙනවා. ගිය ආණ්ඩුවේ විතරක් නෙවෙයි මේ ආණ්ඩුවේ අයට එරෙහිවත් පැමිණිලි කරලා තියෙනවා. ප‍්‍රශ්නය තියෙන්නේ ඒ පැමිණිලි හරියට විමර්ශනය කෙරෙන්නේ නැති එක” වසන්ත සමරසිංහ කීවේය.

”ඔව්, රාජිත සේනාරත්න මෝදර ධීවර වරාය සොච්චම් ගාණකට බදු දීපු එක, ලක්ෂ්මන් යාපාගේ ගනුදෙනු පිළිබඳව පැමිණිලි විභාග වෙන්නේ නැහැ. එහෙම වෙනකොට තමයි දේශපාලන පළිගැනීම් කියලා මහින්ද පාර්ශවයේ අයට කියන්න පුළුවන් වෙලා තියෙන්නේ” විජිත හේරත් කීවේය. ”කණගාටුවට කරුණ දිනේෂ් ගුණවර්ධනලටත් හෝරුන්ට ජයවේවා කියන්න වෙලා. දිනේෂ් ගුණවර්ධන කියනවා ක‍්‍රිෂ් ගණුදෙනුව ගැන පැමිණිලි කරන්න තුන්වෙනි පාර්ශවයට බැහැ කියලා” වසන්ත සමරසිංහ කීවේය.

ගල් අඟුරු මගඩිය ගැන දූෂණ මර්දන කාර්යාලයට පැමිණිල්ලක්

”මේ ආණ්ඩුවෙත් වංචා දූෂණවල අඩුවක් නැහැ. බැඳුම්කර ගනුදෙනුව වගේම තමයි මේ ගල්අඟුරු ගනුදෙනුව. ඒවටත් ආණ්ඩුවේ ඇමතිලා හවුල්. අපිට පුද්ගලයෝ ප‍්‍රශ්නයක් නැහැ. මේවා ජනතාවගේ දේපළ; ජනතාවගේ මුදල්. ඒවා හොරාකන  ඕනම කෙනෙක්ට විරුද්ධව අපි කටයුතු කරනවා.” විජිත හේරත් කීවේය. ”2015 ජූලි මාසේ වුණු මේ ගල්අඟුරු ගනුදෙනුවෙනුත් ආණ්ඩුවට කෝටි ගාණක් පාඩුයි. සාමාන්‍යයෙන් කියන්නේ කෝටි 1200කට වැඩියි කියලා තමයි වාර්තා වෙන්නේ.” වසන්ත සමරසිංහ කීවේය.

”සිංගප්පූරුවේ ලියාපදිංචි සමාගමක් දාපු නඩුවක් නිසා ගල් අඟුරු ගනුදෙනුවේ නඩුව ප‍්‍රතික්ෂේප වුණාට ශ්‍රේෂ්ඨාධිකරණය මේ ගැන පැහැදිලි තීන්දුවක් දීලා තියෙනවා නීති විරෝධී ටෙන්ඩරයක් කියලා. විනිශ්චයකාරවරු පුදුම වුණාලූ මේ ගනුදෙනුව සිද්ද වුණු විදිය ගැන අහලා. නඩු තීන්දුවේ පැහැදිලිව කියලා තියෙනවා තාක්ෂණික කරුණු නිසා නඩුව විභාගය නොකෙරුණාට ආණ්ඩුවේ දේශපාලකයින්ට නිලධාරීන්ට හොරකම් කරන්න අවස්ථාව ගන්න කොහෙත්ම ඉඩක් තියන්නේ නැහැ කියලා. ඒ වගේම මේ ටෙන්ඩරය අහෝසි කරලා නීත්‍යානුකූලව ටෙන්ඩරය කැඳවන්න නියෝගයක් දීලා” සුනිල් වටගල නඩු තීන්දුව ගැන විස්තර කළේය.

”ටෙන්ඩරය දීලා දැන් අවුරුද්දක් වෙනවා. මේකෙන් විශාල පාඩුවකුත් වෙලා තියෙනවා. අපි පැමිණිල්ලක් කරමු මේකෙන් වුණු පාඩුව අදාල පාර්ශවවලින් අයකරගන්න විමර්ශනයක් කරන්න කියලා” විජිත හේරත් කීවේය. ඒ අනුව දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ බ‍්‍රහස්පතින්දා දිනයේදී දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයට මේ පිළිබඳ පැමිණිල්ලක් බාරදුන්නේය.



MOST VIEWED VIDEO STORIES

MORE >>