Back to Top

කලින් කියලා තිබුණානම් සලකා බලන්න තිබුණා

October 16, 2015  



ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්ත විසින් වැඩකරන ජනතාවගේ ඉල්ලීම් කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගෙන් දිනයක් සහ වෙලාවක් ඉල්ලා සිටියේ මීට මාසයකට පමණ ඉහතදීය. කල්ගත වෙමින් සාකච්ඡාව සඳහා දිනයක් නොලැබුණු බැවින් ලාල්කාන්ත විසින් නැවත සාකච්ඡාව පිළිබඳව සිහිකැඳවීමක්ද සිදුකළේය. කෙසේ හෝ අවසානයේ පසුගිය 14වෙනිදා ඒ සඳහා අවස්ථාවක් ලබාදීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන කටයුතු කර තිබිණි.


විශේෂත්වය වන්නේ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වැඩකරන ජනතාවගේ ඉල්ලීම් ගැන සාකච්ඡාවට ලබාදී තිබුණේ පැය බාගයක අවස්ථාවකි. මෙම සාකච්ඡාාවට වෘත්තීය සමිති වෙනුවෙන් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්ත, අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ, විදුලි සේවක සංගමයේ රංජන් ජයලාල්, රැකියාලාභී උපාධිධාරී සංගමයේ චන්දන සූරියආරච්චි ඇතුළු වෘත්තීය සමිති නායකයෝ විශාල පිරිසක් සහභාගි වූහ. නමුත් ජනාධිපතිවරයා සිය ලේකම්වරයෙක් හෝ මෙම සාකච්ඡාවට සහභාගි කර නොගැනීම, වෘත්තීය සමිති විසින් කරන ලද ඉල්ලීම් මාලාව පිළිබඳ ලිපිය ජනාධිපතිවරයා අත නොතිබීම වෘත්තීය සමිති නායකයින්ගේ අප‍්‍රසාදයට හේතු විය. සාකච්ඡාව ආරම්භ කරමින් ජනාධිපතිවරයා කීවේ ”මේ ඉල්ලීම් ගැන කලින් කියලා තිබුණානම් සලකා බලන්න තිබුණා” යනුවෙනි.


එසේ කියමින් ජනාධිපතිවරයා වෘත්තීය සමිතිවලින් ජනාධිපතිවරයාට යවන ලද ලිපියේ පිටපතක්ද එම අවස්ථාවේදී ඉල්ලා ගත්තේය. ”අපි මේ ලිපිය ඔබතුමාට එව්වේ මාසයකටත් කලින්. ඒක ඔබතුමාට නොලැබීම ගැන අපිට ප‍්‍රශ්නයක් තිබෙනවා. අනෙක මේ වැඩකරන ජනතාවගේ ප‍්‍රශ්න කාලයක් තිස්සේ වේදිකාවල කතාබහ වූ දේවල්. මේ තරම් කාලයක් වැඩකරන ජනතාවගේ ගැටලූ ගැන අවධානයක් ආණ්ඩුවලට තිබුණේ නැහැ. අපේ මූලික ඉල්ලීම් වෙලා තිබෙන්නේ දීමනා මූලික වැටුපට එකතු කර ගැනීම ඇතුළු ඉල්ලීම් හතක්” ලාල්කාන්ත තම ගැටලූව පිළිබඳව විස්තර කළේය.


”මේ ඉල්ලීම් පිළිබඳව අදාළ බලධාරීන් සමග කතා කිරීමට මම බලාපොරොත්තු වෙනවා. ඉන්පසුව නැවතත් වෘත්තීය සමිති නායකයින්ට මේ පිළිබඳව සාකච්ඡාවක් ලබාදෙන්න පුළුවන්” ජනාධිපතිවරයා නැවත වෘත්තීය සමිති හමුවීමට පොරොන්දු වෙමින් සාකච්ඡාව අවසන් කළේය.

 


MOST VIEWED VIDEO STORIES

MORE >>