Back to Top

අපේ රටේ දැන් තිබෙන්නේ කළු ආර්ථිකයක්

July 31, 2015  



පසුගිය තිස්වෙනි සඳුදා අනුර දිසානායක පක්ෂ නායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් ව්‍යාපාරික හමුවක් සූදානම් කර තිබිණි. කොළඹ කොටුවේ ග‍්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ පැවැති එම උත්සවය සඳහා ජවිපෙ ජාතික සංවිධායක ගම්පහ දිස්ත‍්‍රික් අපේක්ෂක බිමල් රත්නායක, අනුරාධපුර කණ්ඩායම් නායක වසන්ත සමරසිංහ, ජවිපෙ ජාතික ලැයිස්තු අපේක්ෂකයින් වන හිටපු විගණකාධිපති චන්ද්‍රසිරි මායාදුන්නේ, ජ්‍යෙෂ්ඨ නීතිඥ ක‍්‍රිස්මාල් වර්ණසූරිය, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජනක් කුමාරසිංහ, ව්‍යාපාර උපදේශිකා නයෝමිණී වීරසූරිය යන අය සහභාගි වූහ. එහිදී සභාව අමතමින් ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ දේශනයක් අනුර දිසානායක පක්ෂ නායකයා විසින් සිදුකරන ලදී. අපේ රටේ දැන් තිබෙන්නේ කළු ආර්ථිකයක්. මොකද අද දේශපාලනයේ ඉන්නේ ව්‍යාපාරිකයෝ. ජවිපෙ අපි දේශපාලනයට ආවේ ව්‍යාපාර කරන්න නෙවෙයි. එනිසා අපේ පාලනයක් තුළ මේ ව්‍යාපාර පිරිසිදු කර දෙන බවට සහතික වෙනවා. සමහරු හිතාගෙන ඉන්නවා ජවිපෙට තිබෙන්නේ සරදියෙල් පන්නයේ ආර්ථිකයක් කියලා. අපි ඊට වඩා එහා ගිය දැක්මක් තිබෙනවා. ඒ නිසා තමයි අලූත් පිරිසක් අද අපිට සවන්දෙන්න ඇවිත් තිබෙන්නේ. ඒ ගැන අපිට නිහතමානී ආඩම්බරයක් තිබෙනවා. අනුර දිසානායක කීවේය.

පත්වෙන ආණ්ඩුවට සහාය දෙන්න බැරිද? - ව්‍යාපාරිකයෝ ජවිපෙන් අසති

මෙහිදී ව්‍යාපාරිකයින්ගේ ප‍්‍රශ්නය වූයේ ජවිපෙ මැතිවරණයෙන් පසුව ගන්නා තීන්දුව පිළිබඳවයි.

ඔබතුමාලා මැතිවරණයෙන් පස්සේ කුමන හෝ ආණ්ඩුවක් සමග සහයෝගයෙන් ආණ්ඩුව කරන්න බලාපොරොත්තු වෙනවද? එක් ව්‍යාපාරිකයෙක් විමසීය.

ඔබතුමාලා හිතන විදියට මොන පක්ෂයද ඔබලට වඩාත් හිතවත් ආණ්ඩුවක් කරන්න. තවත් ව්‍යාපාරිකයෙක් විමසීය.

එජාපයවත් ශ‍්‍රීලනිපයවත් එක්ක අපි ආණ්ඩුවක් කරන්නේ නැහැ. මොකද ඒ පක්ෂ දැන් යල් පැනලා. ඒ පක්ෂ දෙක ආණ්ඩු කරනවිට බලය තිබෙන්නේ කැබිනට් එකට නෙවෙයි. කැබිනට් ඇමතිලා තීරණ ගන්නේ නැහැ. රනිල් වික‍්‍රමසිංහ අගමැති වන විට ඔහුගේ හිතවතුන් පිරිස ආණ්ඩුව කරනවා. චන්ද්‍රිකා බලය ගත්තාම එයාගේ හිතවතුන් කීපදෙනා රට කරනවා. රාජපක්ෂ පාලනය කාලේ රට පාලනය කළේ රාජපක්ෂ පවුල. ඒ නිසා කැබිනට් ඇමතිකමක් පමණක් අරගෙන අපේ ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක කරන්න බැහැ. අනුර දිසානායක කීවේය.

ඔබතුමාලා අපිට ගොඩක් උදව් කරලා තිබෙනවා අපේ ව්‍යාපාර කටයුතුවල ගැටලූ ආවාම. අපි කැමතියි ආණ්ඩුවත් එක්ක එකතුවෙලා ඔබතුමාලා වැඩ කරනවාට. ජවිපෙට තමයි ආණ්ඩුව පාලනය කරන්න පුළුවන්. වාහන ආනයනකරුවන්ගේ සංගමය නියෝජනය කර පැමිණි ව්‍යාපාරිකයෙක් ජවිපෙට යෝජනා කළේය.

හවුල් ආණ්ඩුවකට යන්නේ නැහැ කියලා අපි ස්ථාවරයක ඉන්නවා. අපේ රටේ පාර්ලිමේන්තු ක‍්‍රමයට අනුව ආණ්ඩුවක් වගේම ශක්තිමත් විපක්ෂයක් තිබුණොත් ජනතාවට සහන ලබාගන්න පුළුවන්. ඒ නිසා අපිට මේ වෙලාවේ ආණ්ඩු බලය ලබාගන්න නොහැකි වුණත් විපක්ෂයේ කාර්යභාරය කරන්න පුළුවන් ශක්තිය දෙන්න කියලා අපි ඉල්ලනවා. සියලූදෙනාම පාහේ අත්පොළසන් දෙමින් අනුර දිසානායකගේ කතාව අනුමත කළහ.


MOST VIEWED VIDEO STORIES

MORE >>