Back to Top

හඳුන්නෙත්තිට මර්වින්ගෙන් ඇමතුමක්

June 19, 2015  




ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයාගේ පියාණන් අභාවප‍්‍රාප්ත වූයේ පසුගිය සෙනසුරාදා දිනයේය. කාලයක් තිස්සේ රෝගාතුරව සිටි පියාණන්ගේ ඇප උපස්ථාන මන්ත‍්‍රීවරයා අතින්ම සිදුවීම පිළිබඳව අවසන් කටයුතු අවස්ථාවේදී වැඩිපුර කතාබහට ලක්විය. පියාණන්ගේ දේහය ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට භාරදීමට සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයා තීරණය කර තිබුණේ රටේ අධ්‍යාපනය හදාරණ දරුවන් පිරිසකට සලසන උපකාරයක් ලෙස සිතමිනි.

”මගේ පියා හරිහමන් අධ්‍යාපනයක් නොතිබුණු කෙසෙල් කැන් විකුණලා ජීවත් වුණු දුප්පත් කෙනෙක්. එතුමා මට උගන්වලා ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයට ඇතුළත් කළා. මම අද සතුටින් කියන්න කැමතියි මගේ පියා අද මා විසින් මා ඉගෙන ගත් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට භාරදෙනවා” යැයි අවසන් කටයුතු අවස්ථාවේ සියලූ දෙනාට ස්තූතිය පළකරමින් මන්ත‍්‍රීවරයා කියා සිටියේ තම දෑස් කඳුලින් පිරීයන අතරතුරය.

සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයාගේ පියාට අවසන් ගෞරව දැක්වීම සඳහා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂගේ මැති ඇමතිවරුන් විශාල පිරිසක් සහභාගි වූහ. නන්දිමිත‍්‍ර ඒකනායක ඇමතිවරයා මළ ගෙදර අවසන් අවස්ථාවට සහභාගි වීමට පැමිණියත් ඔහුට දැනගැනීමට ලැබී තිබූ වැරදි වෙලාවක් නිසා ඔහු එන විට දේහය විශ්වවිද්‍යාලය කරා රැගෙන ගොස් තිබුණි. ඒ අවස්ථාවේ මළගෙදර සිටි විජිත හේරත් මන්ත‍්‍රීවරයාට කතා කොට විශ්වවිද්‍යාලයට යෑමට ඇමතිවරයා තීරණය කළේය. මේ අතර මර්වින් සිල්වා මන්ත‍්‍රීවරයාට මළගෙදරට සහභාගි වීමට නොහැකි විය. දින දෙකකට පමණ පසුව මර්වින් සිල්වා සුනිල් හඳුන්නෙත්තිගේ නිවස බලා යන අතරතුර ඔහු සුනිල් හඳුන්නෙත්තිට දුරකථනයෙන් ඇමතීය.

”මම ඔයාගේ ගෙදර යන ගමන්. මට තාත්තට අවසාන ගෞරව දක්වන්න එන්න බැරිවුණා. ඒ නිසා මම දැන් එනවා” මර්වින් සිල්වා කීවේය. ”මන්ත‍්‍රීතුමා මේ වෙලාවේ ගෙදර කවුරුත් නැහැ. මම වැඩකට ඇවිත් ඉන්නේ” සුනිල් හඳුන්නෙත්ති කීවේය. මර්වින් සිල්වා ඇමතිවරයා ආපසු හැරුණේ වෙනත් දිනයක එහි එන බව කියමිනි.


MOST VIEWED VIDEO STORIES

MORE >>