Back to Top

මූලික වැටුප වැඩිකර ගැනීමට දැවැන්ත අරගලයක්

June 5, 2015  



පසුගිය තුන්වෙනිදා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්තගේ ප‍්‍රධානත්වයෙන් ජවිපෙ වෘත්තීය සමිති නායකයින්ගේ රැස්වීමක් කැඳවා තිබිණි. එහිදී වර්තමාන ආණ්ඩුව වැඩකරන ජනතා සම්බන්ධයෙන් ගෙන ඇති පියවරයන් සම්බන්ධයෙන්ද පොරොන්දු කඩකිරීම හමුවේ ඉදිරි වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරිණි. මේ වෘත්තීය සමිති සාකච්ඡාවට සෞඛ්‍ය, දුම්රිය, ලංගම, ගුරුසේවා, විදුහල්පති, රාජ්‍ය කළමනාකරණ, උපාධිධාරී, වතු සහ පෞද්ගලික අංශයේ ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති විශාල ප‍්‍රමාණයක වෘත්තීය සමිති නායකයින් සහභාගි වී සිටියහ.

“රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප 2006න් පස්සේ වැඩි වෙලා නැහැ. ඒ කියන්නේ දැන් අවුරුදු දහයකින් පමණ රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප වැඩි වෙලා නෑ.” ලාල්කාන්ත කියා සිටියේය.

“අපි මීට කලින් රුපියල් 10,000කින් වැටුප් වැඩිවීමක් ඉල්ලූවා. වසර ගණනාවක් තිස්සේ අයවැයට කලින් අපි අරගලය ගෙනගිය නිසා මේ වෙනකොට දීමනා වශයෙන් රුපියල් 10,000ක් දිනාගන්න පුළුවන් වෙලා තියෙනවා.” ලංකා ගුරුසේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ කීවේය.


“ඔව්, ඒවා ලැබෙන්නේ දීමනා විදියට විතරයි. ඒකෙන් රාජ්‍ය සේවකයින්ට මූලික වැටුප වැඩිවෙන්නේ නැහැ. ඒ කියන්නේ විශ‍්‍රාම වැටුපවත්, ණය ගන්නකොටවත් ඒ දීමනා වැඩිවීමෙන් වාසියක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මූලික වැටුප වැඩිකරගැනීමේ අරගලයක්  ඕනෑ. මේ ආණ්ඩුවත් රාජපක්ෂ ආණ්ඩුව වගේමයි. කිසි වෙනසක් නැහැ. වැඩකරන ජනතාව ගැනවත් සාමාන්‍ය ජනතාව ගැනවත් හිතන්නේ නැහැ. තමන්ට බලය අත්පත් කරගන්න එක විතරයි කල්පනා කරන්නේ” සමස්ත ලංකා සුවසේවා සංගමයේ සභාපති සමන්ත කෝරලේආරච්චි කීවේය.

“ඒ විතරක් නෙවෙයි පුද්ගලික අංශයට කිසිම සහනයක් නැහැ. වතු ක්‍ෂෙත‍්‍රයේත් වැඩකරන ජනතාවට කිසිදු සහනයක් මේ ආණ්ඩුවෙන් ලබාදුන්නේ නැහැ. ඒ නිසා ඉල්ලීම් දිනාගන්න නම් ආණ්ඩුවට දැනෙන අරගලයක් කරන්න වෙනවා.” අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති පළාත් සභා මන්ත‍්‍රී වසන්ත සමරසිංහ කීවේය.


ඒ අනුව ඉදිරි කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමටත් අනෙකුත් වෘත්තීය සමිති එම ඉදිරි ක‍්‍රියාමාර්ග සඳහා සම්බන්ධ කරගැනීමටත් වෘත්තීය සමිති නායකයෝ එකඟතාවය පළ කළහ.


MOST VIEWED VIDEO STORIES

MORE >>