Back to Top

ජවිපෙ සෝමවංශ අතර තවම නිල සාකච්ඡා නැහැ

April 24, 2015  



ජාත්‍යන්තර කම්කරු දිනය වන මැයි 01වැනිදාට තව ඇත්තේ සතියකටත් වඩා අඩු කාලයකි. කවදත් මැයි දිනය මහත් ඉහළින් සමරන ජවිපෙ මෙවර දැවැන්ත මැයි දින සමරුවකට සූදානම් වෙමින් සිටී. ඒ, ‘ජනතා හඬ දිනවමු! ජනතා බලය දිනවමු!” තේමාව යටතේය. ජවිපෙ මැයි දින පෙළපාලිය සහ රැලිය දෙස් විදෙස් නියෝජිතයින් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට සූදානම් වන අතර පක්ෂයේ එක් එක් දිස්ත‍්‍රික් බල මණ්ඩලවලට මැයි දින පෙළපාලිය සඳහා විවිධ ආකෘති හා නිර්මාණ ඉදිරිපත් කිරීමට දැනටමත් භාරදෙනු ලැබ ඇත. මේ අතර බොහෝ දිස්ත‍්‍රික්ක විසින් බෑන්ඩ් කණ්ඩායම් ඉදිරිපත් කිරීමටද සූදානම් වන අතර මේ දිනවල ලහි ලහියේ ඒවායේ පුහුණුවීම් කටයුතු සිදුවෙමින් තිබේ. මැයි දින පෙළපාලිය එස්ද එස් ජයසිංහ විදුහල් ක‍්‍රීඩාංගණයෙන් ආරම්භ කිරීමට නියමිත අතර රැලිය බී.ආර්.සී පිටියේදී පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් තිබේ.

ජවිපෙ සෝමවංශ අතර තවම නිල සාකච්ඡා නැහැ

මේ අතර පසුගිය සතියේ මහත් ආන්දෝලනයට ලක්වූ කරුණක් වූයේ ජවිපෙ ජාත්‍යන්තර කටයුතු ලේකම් සෝමවංශ අමරසිංහ හිටි හැටියේ පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බව ප‍්‍රකාශයට පත්කිරීමය. පසුගිය 16වනදා පුවත්පත් සාකච්ඡාවක් කැඳවා ඔහු මේ බව හෙළි කළේය. ඒ වනවිටත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය, මධ්‍යමකාරක සභාව හෝ කිසිදු සාමාජිකයෙකු මේ බව දැන සිටියේ නැත.

”පක්ෂය ජයග‍්‍රහණ දිනාගත යුතු පියවරයන් පිළිබඳව අවධානය යොමු කරන්නේ නැහැ. ජනතාව අතරට යන්නේ නැහැ” ඔහුගේ චෝදනාව විය. පුවත්පත් සාකච්ඡාව පවත්වන්නට යන බව ආරංචි වූ මොහොතේ සිටම විජිත හේරත්, ටිල්වින් සිල්වා මේ පිළිබඳව සෝමවංශ අමරසිංහ සමග දුරකතනයෙන් සම්බන්ධ වීමට ගත් උත්සාහයන් අසාර්ථක විය. පුවත්පත් සාකච්ඡාව පැවැත්වූ දිනයේ රාත‍්‍රීයේද ටිල්වින් සිල්වා විසින් සෝමවංශ අමරසිංහ හමුවීමට ගත් උත්සාහය අසාර්ථක වූයෙන් ඔහු සමග නිල මට්ටමේ සාකච්ඡාවක් කිරීමට තවමත් ජවිපෙට නොහැකි වී තිබේ. මේ සිදුවීම වන වට ජවිපෙ නායක අනුර දිසානායක දිවයිනේ සිටියේ නැත. ඔහු යුරෝපයේ රටවල් කිහිපයක ශ‍්‍රී ලාංකිකයින් ඇමතීම සඳහා ගොස් සිටි අතර පෙරළා පැමිණයේ 20වෙනි දිනය.

මේ අතර ජවිපෙ සාමාජිකයින්, හිතවතුන් ඇතුළු විවිධ පිරිස් මේ පිළිබඳව විවිධ ආකාරයෙන් සාකච්ඡා කිරීමට පටන් ගත් අතර ජවිපෙ ඉතා ඉක්මනින් දේශාපලන මණ්ඩලය කැඳවා ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳව සාමාජිකත්වය දැනුවත් කිරීමට තීරණය කළේය. ඉන්පසු ජවිපෙ නායකයින්, සමීපතමයින් සෝමවංශ අමරසිංහ සමග දුරකතනයෙන් කතාබහ කරමින් සිටින අතර මේ වනතෙක් නිල මට්ටමේ සාකච්ඡාවක් සඳහා අවස්ථාවක් උදාවී නැත. මේ සිදුවීම සම්බන්ධයෙන් විවිධ මාධ්‍ය මගින් විවිධ විග‍්‍රහයන් සිදුකළ අතර ජවිපෙ නායකයින්ගේ නම් යොදාගනිමින් ව්‍යාජ ප‍්‍රවෘත්ති නිර්මාණය කළ මාධ්‍යවේදීන්ට නීතිමය පියවර ගැනීමටද ජවිපෙ මේ වනවිට කටයුතු ආරම්භ කොට තිබේ.


MOST VIEWED VIDEO STORIES

MORE >>