Back to Top

මන්ත‍්‍රීකම දෙන්නේ පාදඩයින්ටද? බුද්ධිමතුන්ටද?

March 19, 2015  




පසුගිය ඉරිදා දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ජවිපෙට පැක්ස් පණිවිඩයක් ලැබුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන පක්ෂ නියෝජිත රැස්වීමක් පිළිබඳව සඳහන් කරමිනි. එහි සඳහන් තිබුණේ සඳුදා දිනයේදී පෙ.ව. 9.30ට රැස්වීමකට පක්ෂ නියෝජිතයෙකු සම්බන්ධ කරවන ලෙසය. ජවිපෙ නියෝජනය කරමින් විජිත හේරත් එම රැස්වීමට සහභාගි වූයේ ජවිපෙ එදින පස්වරුවේ කැඳවා තිබූ හදිසි මධ්‍යමකාරක සභා රැස්වීමට  බලාපොරොත්තුව තබාගෙනය.


අපි ජනාධිපතිවරණයේදී දාපු ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ තියෙනවා නව මැතිවරණ ක‍්‍රමයක් පිළිබඳව සාකච්ඡා කිරීමට පක්ෂ නියෝජිතයින්ගෙන් යුත් විශේෂ කමිටුවක් පත්කරනවා කියලා. ඒක පත්කරන්න තිබුණේ ජනවාරි 17වෙනිදා. නමුත් ප‍්‍රමාද වෙලා හරි අපි මේක පත්කරන්න කල්පනා කළා. ජනාධිපති මෛත‍්‍රී පක්ෂ නියෝජිතයින් කැඳවීමේ අරමුණ පැහැදිලි කළේය. එහිදී නව මැතිවරණ ක‍්‍රමයක් පිළිබඳව පක්ෂ නියෝජිතයෝ විවිධ අදහස් පළ කළහ. කුමන හෝ මැතිවරණ ක‍්‍රමයක් තුළ මනාප ක‍්‍රමය අහෝසි කිරීම සඳහා බොහෝ පක්ෂ නියෝජිතයින් එකඟත්වය පළකරමින් අදහස් පළ කිරීම මෙහි විශේෂත්වයක් විය.

නමුත් නිශ්චිත මැතිවරණ ක‍්‍රමයක් පිළිබඳව කතාබහක් ඇති නොවූ අතර රජීව් විජේසිංහ මන්ත‍්‍රීවරයා පමණක් මැතිවරණ ක‍්‍රමයක් පිළිබඳව යෝජනාවක ලියවිල්ලක් පක්ෂ නියෝජිතයින් අතර බෙදා දුන්නේය. ඉදිරියේදී පාර්ලිමේන්තුවේ විශේෂ මැතිවරණ අනුකමිටුවට අනුව සාකච්ඡ‍ා පවත්වාගෙන යාමටත් එහිදී පක්ෂ නියෝජිතයෝ එකඟත්වය පළ කළහ. එම සාකච්ඡාව මධ්‍යහ්න 12.00 පමණ වනතුරු පැවැත්විණි.


කෙසේ වෙතත් ජවිපෙ නායක අනුර දිසානායක සහ ජනාධිපතිවරයා අතර හමුවක් එදින පෙරවරු 11ට පැවැත්වීමට නියමිතව තිබුණත් පක්ෂ නියෝජිත රැස්වීම නිසා එය ප‍්‍රමාද විය. පක්ෂ නියෝජිත රැස්වීම අවසන්වීමත් සමග ජනාධිපතිවරයා අනුර දිසානායක හමුවිය.

අපි පක්ෂයක් විදියට වංචා ¥ෂණ ගැන විශාල පැමිණිලි ප‍්‍රමාණයක් අල්ලස් කොමිසමට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීලා තිබෙනවා. නමුත් ඒ පිළිබඳව පරීක්ෂණ ඉතාම මන්දගාමියි. මේ ගැන ජනතාවට ඇත්තෙත් කළකිරීමක්. අනුර දිසානායක පැහැදිලි කළේය.

ඒ පිළිබඳව ප‍්‍රශ්නයක් තිබෙනවා. මම ඔබතුමාට පොරොන්දු වෙනවා බරපතළ වංචා ¥ෂණ පැමිණිලි සම්බන්ධයෙන් මගේ සෘජු මැදිහත්වීමක් කරනවා කියලා. ඒ පිළිබඳව එකින් එක වෙන වෙනම මැදිහත්වීමක් කරන්න මම බලාපොරොත්තු වෙනවා. ජනාධිපතිවරයා අනුරට පොරොන්දු විය. එම සාකච්ඡාවෙන් පසුව අනුර පැලවත්ත ප‍්‍රධාන කාර්යාලයට ආවේ මධ්‍යම කාරක සභාවට සහභාගිවීමටය. 
19වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ගැසට් පත‍්‍රයත් රැගෙන පැමිණි විජිත හේරත් මේ පිළිබඳව මුලින් අදහස් දැක්වීම ආරම්භ කළේය. පොරොන්දු වුණු විදියට විධායක ජනාධිපති ධුරය මුළුමනින්ම අහෝසි කරන්න මේ සංශෝධනය ගෙනත් නැහැ. විධායකයේ යම් යම් බලතල ප‍්‍රමාණයක් විතරයි ඉවත් කරන්නේ. විජිත කීවේය.

ඔව් නමුත් විධායකයේ ඒකාධිපති ස්වරූපය ඉවත් කරන්න පුළුවන් සංශෝධන ටිකක් හරි ගේන එක මේ වෙලාවේ හැටියට හොඳයි. නමුත් මේ සම්පූර්ණ විධායක බලතල අහෝසි නොවීම මෛත‍්‍රීපාල ජනාධිපතිවරයාගේ ධුර කාලයට පමණක් සීමාවන විදියට සංශෝධනය කරනවාටයි අපි එකඟ විය යුත්තේ. නැත්නම් විධායක ජනාධිපති ධුරය මෛත‍්‍රීන්ගෙන් පස්සෙත් යනවා. අපි සහාය දිය යුත්තේ ඒ ස්ථාවරයේ ඉඳලා. ටිල්වින් සිල්වා කීවේය.


මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීම ගැනත් කතා කරනවා. අලූත් මැතිවරණ ක‍්‍රමයක් හදන්න  ඕනෑ යම් කිසි මූලධර්මයකට අනුව. අපේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්,
මැලේ ජනතාව තමන් කැමති  ඕනෑම පක්ෂයකට ඡන්දය දුන්නාම ඒ ජනතා කැමැත්ත සාධාරණ ලෙස පාර්ලිමේන්තුවේ නියෝජනය වෙන්න  ඕනෑ. ඒක තමයි වඩා විද්‍යාත්මක. අනුර දිසානායක කීවේය.

සමහරු මනාප ක‍්‍රමය ගැන කතා කරනවා. අපිට කවදාවත් මනාප ක‍්‍රමය ප‍්‍රශ්නයක් වෙලා නැහැ. ඒක දේශපාලන පක්ෂවල විනය පිළිබඳ ප‍්‍රශ්නයක්. පක්ෂ නායකයින් තීරණය කරන්න  ඕනෑ මන්ත‍්‍රීකම දෙන්නේ පාදඩයින්ටද බුද්ධිමතුන්ටද කියලා. බිමල් රත්නායක කීවේය.

නිමල් සිරිපාල කියනවා විධායක ජනාධිපති ක‍්‍රමයට අනුව තමයි මේ මැතිවරණ ක‍්‍රමය තියෙන්නේ ඒ නිසා විධායකය අහෝසි කරන සංශෝධනත් එක්ක මැතිවරණ සංශෝධන ගේන්න කියලා. ඒක මහ විහිළුවක්. මේ 19 සංශෝධනයෙන් විධායක බලතල ඉතාම සුළු ප‍්‍රමාණයක් විතරයි අහෝසි වෙන්නේ. සිරිපාලලා නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හොයනවා. සෝමවංශ අමරසිංහ කීවේය.

දැන් සමහරු කියනවා අපේ‍්‍රල් 23 පාර්ලිමේන්තුව විසුරුවන කතාවක් කිව්වේ නැහැල්ලූ. ඒක බොරු තර්කයක්. ජනාධිපතිවරණ වේදිකාවේත් මේ ගැන කතා කළා. දින සියයේ වැඩපිළිවෙළ එළිදක්වන කොට ඒකේ සඳහන් කළා. ඒ විතරක් නෙවෙයි මෛත‍්‍රීපාල ජනාධිපතිතුමා ජනවාරි 12 ඇමති මණ්ඩලය අමතපු වෙලාවේ පැහැදිලිව කිව්වා අප්‍රේල් 23න් පස්සේ මහ මැතිවරණයක් එන බව හැම ඇමතිවරයෙක්ම දැනගෙන ඒ අනුව වැඩකටයුතු කළ යුතුයි කියලා. ඉතිං තවත් මොනවද මේ උදවිය කතා කරන්නේ. සුනිල් හඳුන්නෙත්ති කීවේය.

මෙම මධ්‍යමකාරක සභා රැස්වීමෙන් අනතුරුව ජවිපෙ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් 19වෙනි සංශෝධනය, නව මැතිවරණ ක‍්‍රමය සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳව සිය ස්ථාවරය රටට කීවේය. පසුදින මාධ්‍ය හමුවක්ද පැවැත්වීය.



MOST VIEWED VIDEO STORIES

MORE >>