Back to Top

ශ‍්‍රව්‍යාබාධිතයින් හඳුන්නෙත්තිට දුක කියයි

February 26, 2015  


පසුගිය සතියේ මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති දේශපාලන කටයුතු කිහිපයක් සඳහා මාතර ගියේය. එහිදී ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ගණනාවකටද ඔහු සහභාගි විය. ඒ අතර මාතර නූපේ ජවිපෙ දිස්ත‍්‍රික් කාර්යාලයේ රැඳී සිටි අවස්ථාවල මාතර ප‍්‍රදේශයේ ජනතාව මුහුණ දී තිබූ ප‍්‍රශ්න ගණනාවකටද විසඳුම් ලබාදීමට මන්ත‍්‍රීවරයා මැදිහත් විය.

මේ අතර පසුගිය අතුරු අයවැයෙන් විශාල අර්බුදයක් නිර්මාණය වූ දෙමුහුන් වාහන පිළිබඳ ප‍්‍රශ්නයට මැදිහත් වූ සුනිල් හඳුන්නෙත්තිට විශේෂ ආරාධනාවක් ලැබුණේද මාතර ප‍්‍රදේශයේ සිටින අතරතුරදීය. ඒ ආරාධනාව වූයේ බදු සහනය යටතේ ගෙන්වන ලද දෙමුහුන් වාහන දෙකක් හිමිකරුවන් වෙත ප‍්‍රධානය කිරීමටය. හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයා ආරාධනාව පිළිගෙන එම අවස්ථාවට සහභාගි විය.

මේ අතර ශ‍්‍රව්‍යාබාධිත පුද්ගලයින් විසින් ගොඩනගාගෙන තිබෙන සංවිධානයක සමුළුවක් සඳහා සහභාගිවීමටද සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයාට අවස්ථාව හිමි විය. එය මාතර නරගයේදී පැවැත්විණි. මන්ත‍්‍රීවරයා එහිදී එම සමුළුව අමතමින් කතාවක් කළ අතර පරිවර්තකයෙකු විසින් එය සංඥා බසට පරිවර්ථනය කරනු ලැබිණි. සමුළුව අවසන් වීමෙන් අනතුරුව ඔවුන්ගේ ගැටලූ ගණනාවක් පාර්ලිමේන්තුවේ අවධානයට යොමුකරන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ.

ශ‍්‍රව්‍යාබාධිතයින්ට අවශ්‍ය ප‍්‍රමාණයට භාෂා පරිවර්තකයින් ලබාදීම, යතුරු පැදි ධාවනය කිරීමට බලපත‍්‍රයක්
ලබාගැනීමට අවස්ථාව ලබාදීම, අධ්‍යාපන කටයුතු කරගෙන යෑම සඳහා ඇති ගුරු හිඟයට විසඳුම් ලබාදීම සහ රැකියා ස්ථානවලදී මුහුණ දෙන ගැටලූ ගණනාවක්ද ඔවුහු මන්ත‍්‍රීවරයාගේ අවධානයට ලක්කළෝය. ශ‍්‍රව්‍යාබාධිතයින්ගේ සමුළුවකට මන්ත‍්‍රීවරයෙක් සහභාගි වීම ඔවුන්ට ඉතාම වැදගත් අවස්ථාවක් වූ බවද ඔවුන් කියා සිටියේ මන්ත‍්‍රීවරයාට ස්තූති කරමිනි.


MOST VIEWED VIDEO STORIES

MORE >>