Back to Top

ජවිපෙ මන්ත‍්‍රී දිවුරුමට ආණ්ඩුවෙන් පොල්ලක්

April 12, 2014  




පසුගියදා පැවති බස්නාහිර පළාත් සභා මැතිවරණයෙන් ජයගත් ජවිපෙ මහජන නියෝජිතයින් දිවුරුම්දීම සඳහා අලෙවි මවුලානා ආණ්ඩුකාරවරයාගෙන් අවස්ථාවක් ඉල්ලා තිබිණි. ඒ සඳහා ආණ්ඩුකාරවරයා පසුගිය අපේ‍්‍රල් 08 දිනය ලබාදී තිබූ අතර එහෙත් පසුව ආණ්ඩුකාර කාර්යාලය එය අවලංගු කළේ ආණ්ඩුකාරවරයාට ජනාධිපතිවරයා සමග හමුවීමක් යෙදී ඇති බව කියමිනි.

අනතුරුව මෙම දිවුරුම්දීමේ අවස්ථාව සඳහා 11වැනිදා යොදා ගන්නා ලද අතර අවසන් මොහොතේ එම දිනයද අවලංගු කරන ලද බව ආණ්ඩුකාර කාර්යාලය ජවිපෙට දැනුම් දුන්නේය. මෙම අවලංගු කිරීම ප‍්‍රසන්න රණතුංග මහ ඇමතිවරයාගේ මැදිහත්වීමක් හේතුවෙන් සිදුවූ බවද පැවසිණි.


මේ වන විට දකුණු පළාතේ ආණ්ඩුකාරවරිය විදෙස් ගත වී ඇති බැවින් එම පළාතේ වැඩබලනුයේද බස්නාහිර ආණ්ඩුකාරවරයාමය. කෙසේ වුවද ජවිපෙට නැතැයි කී වේලාව පසුගිය 09වැනිදා දකුණු පළාතේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ අපේක්ෂකයින්ට දිවුරුම් දීම සඳහා වෙන්කර දී තිබීම බස්නාහිර ජවිපෙ මන්ත‍්‍රීවරුන්ට ගැටලූවක් වී තිබිණි. දිවුරුම් දීමේ අවස්ථාව පමාවීම පිළිබඳව විමසූ මාධ්‍යවේදියෙකුට සුනිල් වටගල කියා සිටියේ ආණ්ඩුව ජවිපෙ නියෝජිතයින්ගේ දිවුරුම්දීමටත් කෙතරම් බයවී ඇත්ද යන්න මෙමගින් පැහැදිලි වන බවය.


අපේ‍්‍රල් විරු සමරු විදෙස් රටවලදීත්

ජනතා විමුක්ති පෙරමුණ පසුගිය අපේ‍්‍රල් 05වෙනිදා බදුල්ලේදී 71 අරගලයේදී දිවිපිදූ විරුවන් වීරවරියන් සිහිපත් කරමින් විරු සැමරුම් උත්සවයක් පැවැත්වූවා. මෙ අතර අපේ‍්‍රල් සැමරුම් කිහිපයක් විදෙස් රටවලදීද පැවැත්වීමට ජවිපෙ විදෙස් කමිටු මේ වනවිට කටයුතු සංවිධානය කර තිබෙනවා. ඒ අනුව ඉතාලිය, එක්සත් ජනපදය,  ඕමානය, කටාර්, කුවෙයිට්, සෞදි අරාබිය, ප‍්‍රංශය ඇතුළු රටවල් ගණනවකදී එම සැමරුම් උත්සව සංවිධානය කර තිබෙනවා. එම සැමරුම් උත්සව සඳහා සහභාගිවීමට ජවිපෙ නායකයින් ඉදිරි දින කිහිපයේදී ලංකාවෙන් බැහැරව යෑමට නියමිත අතර ඉන් සැමරුම් කිහිපයක් ලංකාවේ සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ ආමන්ත‍්‍රණය කිරීමටද කටයුතු යොදා තිබේ.



MOST VIEWED VIDEO STORIES

MORE >>