Back to Top

ඉන් පස්සෙවත් මගේ දරුවන් බලපන්නේ....

April 9, 2014  



 

අවුරුදු 4ක් වන සම සෞඛ්‍ය උපාධි පාඨමාලාව අවුරුදු 3ක් දක්වා අඩුකිරීමට එරෙහිව පේරාදෙණිය සරසවි සිසුන් සත්‍යග්‍රහ ව්‍යාපාර ආරම්භ කර දින 100ට වැඩි කාලයක් ගත වුවද ඔවුන්ගේ ගැටලුවට මේ දක්වා විසඳුමක් ලැබී නැත.

 

මේ සම්බන්ධයෙන් වගකිව යුතු සියලු පාර්ශව දැනුවත් කිරීමට සිසුන් උත්සාහ ගෙන තිබේ.

එහෙත් ගැටලුවට විසඳුමක් ලැබී නැති බව ඔවුන්ගේම අදහසයි.

 

මෙම සිද්ධියත් සමග දුකට පත්ව සිටින සම සෞඛ්‍ය විද්‍යාපීඨ සිසුවියකගේ මවක් එම වේදනාව කවි පංතියකට අමුණා අප වෙත මෙලෙස එවා තිබුණි.

 

 

හන්තානේ සිහිනය

 

පුංචිම කාලේ අම්මාගේ හුරතලී වෙලා

ගුරුතුමියගේ සෙනෙහෙන් සමණලි වෙලා

අනාගතය ජයගන්නට සිනහ වෙලා

අම්මේ ගෙදර එන්නම් මම ඩොකෙක් වෙලා

 

අසරණ හිතට දුන් පොරොන්දු සිහිවෙනවා

උ.පෙ දිනූ දා අම්මා රජවෙනවා

ලොක්කන්ගේ වැඩෙන් පිටපොට පැටලෙනවා

ඒ සුන්දර සිහිනේ එතනින් බොඳ වෙනවා  

 

සම සෞඛ්‍ය, සම සෞඛ්‍ය කියවෙනවා

සිව් අවුරුදු උපාධිය අප සනසනවා

කේතගේ අපලේ අප හිස් මත පැටවෙනවා

අවුරුදු 4, 3දක්වා අඩුවෙනවා

 

4ක් දුන්නේ පුහුණුව අවැසිම හින්දයි

3ට අඩු කෙරේ දොස්තරලා හින්දයි

මැති ඇමතිලා ආබාධිතයින් ගාණයි

අධ්‍යාපනය අද කළු කඩයක් සේමැයි

 

කිව්වා කිව්වා කට රිදෙනා තුරු කිව්වා

ලිව්වා ලිව්වා දෑඟිලි ගෙවෙනට ලිව්වා

ඇඬුවා දෑස රත් පැහැවෙන තුරු ඇඬුවා

අපි ගැන බලන්නට කවුරුත් තව නැතුවා

 

පේරාදෙණියේ මාස 3ක් ගත කරලා

සතියක් ගත කළා ස්ටේෂමට වෙලා

UGC ළඟට ගොස් අපි වාඩිවෙලා

කිසිවෙක් බැලුවේ නෑනේ තව ඇහැ ඇරලා

 

 

නගර පුරාවට මිනිසුන් හට කියලා

බැරිම තැනදී වෙස් මුහුණක් පළඳාලා

උපාධිය ගැනම තරයේ සිත යොමලා

වීදි නැටුම් පෙන්නුව අපු දුක් විඳලා

 

සෞඛ්‍යම නංවන්නට ඇවැසි තැන

සායන කරා සනසන්නට දුගී ජන

ඒ අය දුන්නු ඒ නොමසුරු පින් බලෙන

සිව් අවුරුදු උපාධිය තිරවේවා නිතින

 

එපා එපා අපේ අයිතීන් බිඳිනු එපා

එපා එපා නොඇසුණ සේ හිඳිනු එපා

හිනහවේවි පිටුපාලා යන්න එපා

තුන් අවුරුදු උපාධිය නම් අපට එපා

 

ජනපතිතුමනි දරුවන්ගේ දුක දන්න

හැකිවේද ඔබටවත් අප සැම සනසන්න

ලෝකය පුරා සිරිලක නම පතුරන්න

සිව් අවුරුදු උපාධිය අප හට දෙන්න

 

කුසට අහර ගතට සවිය මට නැතුවා

හිත චංචලයි මගේ දෑසම නිදි වැරුවා

දෙනෙත් තෙත් වෙලා කඳුළට ඉඟි මැරුවා

නුදුරුම දිනෙක මා ගෙනයාවිද මරුවා

 

දරුවන් හදන්නේ ලේ කිරි කර පොවලා

උගතුන් කරන්නට නැණ ගුණ දෙක දීලා

පෙර කළ පින් බෙලෙන් ඒ පින් පළඳීලා

මගේ පුතා අද ඇත උගතෙකු වීලා

 

හන්තානේ පිපෙන රතු මල් පලස මත

අකුරු කරාපන් නොතලා නුඹේ සිත

වෙදකම මෙන්ම හෙදකම පෙන්වා දසත

මනුසත් කමේ මහිමය පෙන්වනු දියත

 

හැදුවේ වැඩුවේ නුඹ ඉහළට යවන්නයි

සිද්ධ වුණේ මහ පාරට වැටෙන්නයි

දුප්පත් මගේ මව්කිරි ටික වටින්නයි

යෝධ බල වීරිය නුඹලට ලැබෙන්නයි

 

අව්වේ වැස්සේ මහ පාරේ ගත කරලා

මගේ සුදු පුතේ නුඹ හොඳටම වැරහීලා

නුඹගේ තාත්තා නුඹගේ දුක අහලා

ඉහළට ගත් හුස්ම තවමත් නැහැ හෙලලා

 

රන්වලටත් වඩා වටිනාකමක් ඇති

දරුවෝ ඇයි පාරේ ගුණ නැණ දෙකම ඇති

මේවා දකින්නට අද කිසිවෙකුත් නැති

ඇයි අපේ පුතුන් ලක් දෙරණට වටින්නැති

 

සෞඛ්‍යයට නිසි වටිනාකමක් දෙන

සම සෞඛ්‍ය රැක ගන්නට වෙහෙස වන

මගේ සුදු පුතේ අඛණ්ඩව දිවි කැප කරන

ජය ටැඹ පෙනේවා නුඹ හට නුදුරු දින

 

නුඹලා නැතිව නැහැ අපි අවුරුදු කන්නේ

වැතිරී හිඳින්නම්, වකුටුව බඩගින්නේ

ලොකු උන් කාලා බීලා නිදි වැදියන්නේ

ඉන් පස්සෙවත් මගේ දරුවන් බලපන්නේ...

 

සම සෞඛ්‍ය විද්‍යා පීඨ ශිෂ්‍යාවකගේ මවක්

ටී.එම්. හීත් අම්මා

මාදිමුල්ල

මහමූකලන්යාය

 

 

 

 

MOST VIEWED VIDEO STORIES

MORE >>