2026 වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 37,000ක්
June 8, 2026 01:52 pm
2026 වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 37,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පවසයි.
ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කරන්නේ 2025 වසර සමඟ සැසඳීමේදී මෙය රෝගීන් 10,000ක පමණ වැඩිවීමක් බවයි.
වාර්තා වූ රෝගීන්ගෙන් සියයට 50කට ආසන්න ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර, කොළඹ දිස්ත්‍රික්කයෙන් සියයට 22ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් සියයට 17ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් සියයට 6ක් වාර්තා වී තිබේ.
ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන වැඩි වශයෙන් හඳුනාගෙන ඇත්තේ පාසල්, රාජ්‍ය ආයතන සහ ආගමික ස්ථාන ආශ්‍රිතව බවද වෛද්‍ය කන්නන්ගර මහතා පෙන්වා දුන්නේය.
මේ තත්ත්වය හමුවේ අද සිට ලබන 10 වැනිදා දක්වා දිස්ත්‍රික්ක 14ක් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 72ක් ආවරණය කරමින් විශේෂ ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ.
මෙහිදී නිවාස, රාජ්‍ය හා පෞද්ගලික ආයතන, පාසල්, ආගමික ස්ථාන, කර්මාන්තශාලා, වැඩබිම්, හිස් ඉඩම් සහ අධි අවදානම් කලාප පරීක්ෂාවට ලක්කරන අතර, මදුරු බෝවන ස්ථාන පවත්වාගෙන යන පුද්ගලයන්ට රතු නිවේදන නිකුත් කිරීම සහ නීතිමය පියවර ගැනීම ද සිදුකෙරේ.
මෙම වැඩසටහනේ සමාරම්භක අවස්ථාව කොළඹ මහනගර සභාව පරිශ්‍රයේදී පැවැත්වුණු අතර, ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය ද එහිදී ජනතා සහභාගීත්වයේ වැදගත්කම අවධාරණය කළාය.
