තමන්ව අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලා බුද්ධි අංශ සාමාජිකයෙකු ඉදිරිපත් කළ පෙත්සම කැඳවීමට දින දෙයි
June 8, 2026 02:13 pm
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු නිලධාරියකු වන කර්නල් කැලුම් මද්දුමගේ මහතා විසින් ඉදිරිපත් කර ඇති පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා ජුනි මස 22 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (08) නියම කළේය.
මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය විසින් මෙම පෙත්සම පවත්වාගෙන යාමට නොහැකි බව සඳහන් කරමින් මූලික විරෝධතා මතු කළාය.
ඉන් අනතුරුව අදාළ පෙත්සමේ වග උත්තරකරුවකු වශයෙන් නම්කර සිටි ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා ද නීතිපතිවරයාගේ මූලික විරෝධතාව අනුමත කරමින් කරුණු ඉදිරිපත් කළේය.
ඉන් අනතුරුව මෙම මූලික විරෝධතාව පිළිබඳව පෙත්සම්කාර පාර්ශ්වයේ කරුණු දැක්වීම සඳහා මෙම නඩුකරය ජුනි මස 22 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.
