බේරුවල නීතිවිරෝධී ගබ්සා මධ්‍යස්ථානය වැටලූ වලාන මෙහෙයුම
February 8, 2026 05:32 pm
බේරුවල ප්‍රදේශයේ නීතිවිරෝධී ගබ්සා මධ්‍යස්ථානයක් වටලා එය පවත්වාගෙන ගිය වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත්තේ, වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් විසිනි.
එම බලකායේ බුද්ධි අංශ නිලධාරීයෙකු උපායශිලීව ගබ්සා කිරීම සඳහා දිනයක් ලබාගත් බවට සඳහන් වේ.
ඉන් අනතුරුව කළුතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගන්නා ලද සෝදිසි වරෙන්තුවකට අනුව අද (08) දින වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ විශේෂ පොලිස් කණ්ඩායම අදාළ වැටලීම සිදු කරන ලදී.
දිනයක් ලබාගැනීමෙන් අනතුරුව තමන් ඇසුරු කළ කාන්තාවකට ගබ්සාවක් සිදුකරගැනිමට අවශ්‍ය බව පවසමින් අදාළ වෛද්‍යවරයා සමඟ මෙලෙස සංවාදයක නිරතවී තිබේ.
උපායදූත නිලධාරියා - මම ආවා ඩොක්ටර්. එදා අර අයින් කරගන්න කතා කරපු කෙනා..
ඩොක්ටර් - හරි.. ඔයා ඇවිල්ල ද ඉන්නේ.?
උපායදූත නිලධාරියා - ඔව් ඩොක්ටර්.
ඩොක්ටර් - එහෙනම් ඔයා ස්කෑන් රූම් එක ළඟට යන්න.
ඩොක්ටර් - මෙයාගේ බඩ ස්කෑන් කරන්න ඕනේ.
මට මෙයාගෙ යූරින් ටෙස්ට් එකකුත් චෙක් කරන්න වෙනවා. ඒ නිසා යූරින් එකක් අරන් දෙන්න.
උපායදූත නිලධාරියා - හොඳමයි ඩොක්ටර්.
උපායදූත නිලධාරියා - ඩොක්ටර් මෙයා බයයි මේ වැඩේ කරන්න. දැන් බෑ කියනවා.
ඩොක්ටර් - නෑ... නෑ... බය වෙන්න එපා ළමයෝ. ඔයා මේ ළමයා හදා ගන්නද? ඔයාල බැඳලා නෑනේ. ඔයාලට මේ ළමයා හදා ගන්න බෑනේ.
උපායදූත නිලධාරියා - ඒක තමයි ඩොක්ටර්, මේක අයින් කරගන්න ඕනේ.
ඩොක්ටර් - මේ... මේ... බයවෙන්න එපා. මම මේක පුරුදු වෙන්න කාරණව නෙවෙයි. මම ගොඩාක් ඔය වගේ කරල තියනවා. ඔයා බය වෙන්න එපා.
උපායදූත නිලධාරිනිය - එහෙනම් කමක් නෑ ඩොක්ටර් එහෙම කරමු.
ඩොක්ටර් - ඒකනේ. එහෙනම් ඔයාලා ස්කෑන් රූම් එකට යන්න. මම බෙහෙත් ටික අරන් එන්නම්.
උපායදුතියක ලෙස යෙදවු පොලිස් කොස්තාපල්වරිය ගබ්සා කිරීමට තැත් කිරීමේදී සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇත.
මෙම වැටලීමේදී ගබ්සා කිරීම සඳහා යොදා ගන්නා ඖෂධ තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකරු බේරුවල වෛද්‍ය නිලධාරී ලෙස ද කලක් සේවය කළ අයෙක් බවට තොරතුරු වාර්තා වෙයි.
අදාළ වෛද්‍යවරයා ගබ්සා කිරීම සඳහා එක් අයෙකුගෙන් රුපියල් 45,000 සිට ඉහළ මිල ගණන් අය කර ඇත.
අත්අඩංගුවට පත්වීමත් සමඟ වෛද්‍යවරයාගේ සහයිකාව එම ස්ථානයේම සිහිසුන්ව ඇදවැටී තිබේ.
අත්අඩංගුවෙන් මිදීම සඳහා සැකකාර වෛද්‍යවරයා වැටලීම් කළ නිලධාරීන්ට ඉල්ලන ඕනෑම මුදලක් අල්ලස් වශයෙන් ලබාදීමට අයාචනා කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.
පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි කාමල් ආරියවංශ මහතාගේ නියෝග අනුව ස්ථානාධිපති ප්‍රදාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැටලීම සිදුකර ඇත.
මේ සඳහා පොලිස් පරීක්ෂක ජනිත, උප පොලිස් පරීක්ෂක ජයවීර, පොලිස් සැරයන් (428) ජයලාල් (61746) මධුරංග, පොලිස් කොස්තාපල් (93425) දනුෂ්ක, (105086) කේ.සුමරන්, පොලිස් කොස්තාපල් රියදුරු (16227) උදාර යන නිලධාරීන් විසින් වැටලීම සිදු කරන ලදී.
