ශ්‍රී ලාංකික ධීවර යාත්‍රා 02ක් මාලදිවයිනේ දී අත්අඩංගුවට
December 18, 2025 08:44 pm
මාලදිවයිනේ විශේෂ ආර්ථික කලාපයට (SEZ) අයත් මුහුදු ප්‍රදේශයට නීතිවිරෝධී ලෙස ඇතුළු වූ මෙරට ධීවර යාත්‍රා 02ක් එරට ජාතික ආරක්ෂක බළකාය (MNDF) විසින් ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබේ.
මාලදිවයින් දූපත් සමූහයේ උතුරු දෙසින් පිහිතා ඇති කේලා දූපත ආසන්නයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
මෙම විශේෂ මෙහෙයුම සම්බන්ධයෙන් එරට මාධ්‍ය අද (18) කරුණු අනාවරණය කර ඇති අතර, එහි ඔවුන් සඳහන් කර ඇත්තේ විදෙස් බුද්ධි තොරතුරු මත මෙම ශ්‍රී ලාංකික ධීවර යාත්‍රා දෙක සිය භාරයට ගෙන ඇති බවය.
කේලා සිට නාවික සැතපුම් 51ක් පමණ දුරින් ඊයේ පෙ.ව. 8:30ට පමණ මෙම යාත්‍රා එරට ජාතික ආරක්ෂක බළකාය සිය භාරයට ගත් බව එම මාධ්‍ය වාර්තාවන්හි දැක්වේ.
මේ වනවිට අදාළ ධීවර යාත්‍රා මාලදිවයින් පොලීසියට භාරදී ඇති බවත්, ඔවුන් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවත් මාලදිවයින් මාධ්‍ය පවසයි.
මාලදිවයින ආරක්ෂක අංශ මගින් මීට පෙරද හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300කට අධික ප්‍රමාණයක් සමග ශ්‍රී ලාංකිකයන් 6ක් සමග ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙරට නාවික හමුදාවෙන් ලබාදී ඇති තොරතුරකට අනුව එම වැටලීම සිදු කළේය.
