කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

November 26, 2025   08:57 pm

ශ්‍රී ලංකාවට ආසන්නව ගිනිකොණ දෙසින් පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළ තවදුරටත් ක්‍රමයෙන් පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් උතුරට බරව වයඹ දෙසට ගමන්කිරීමට හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තු වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳ අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටියි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

නැගෙනහිර, මධ්‍යම, උතුරු - මැද සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි අතර, සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකය.

එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට පැ.කි.මී. 50-60ත් අතර තද සුළං ඇතිවිය හැකි බවත්, තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී සිටියි.

මේ අතර බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා සහ දිවයින වටාවන මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර සහ නාවුක කටයුතු වල යෙදෙන ප්‍රජාව සඳහා සැලකිලිමත් වන ලෙස දැනුම් දී තිබේ.

‍මේ අතර දිවයින වටා මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර සහ නාවුක කටයුතු වල යෙදෙන ප්‍රජාව දැනුම්වත් කරමින් නිවේදනය කර සිටියේ, ගිනිකොණ දෙසින් පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළ තවදුරටත් ක්‍රමයෙන් පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් උතුරට බරව වයඹ දෙසට ගමන් කිරීමට හැකියාවක් පවතින බවය.

අද (26) සිට නැවත දැනුම් දෙන තුරු දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතු වලින් වැළකී සිටින ලෙස දැනුම් දී ඇත.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60-70ත් දක්වා ඉහළ යා හැකි අතර, එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැක.

පුත්තලම සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට, මඩකලපුව සහ ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5 - 3.5ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී. (මෙය ගොඩබිමට එන රළ උස නොවේ).

‍මේ අතර බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා නැනුම්දෙමින් පවසා සිටියේ, 'සෙන්යාර්' සුළි කුණාටුව මලක්කා සමුද්‍ර සන්ධිය සහ ඒ ආශ්‍රිත ඊසානදිග ඉන්දුනීසියාවේ අක්ෂාංශ 4.9°N සහ දේශාංශ 97.8°E අසල වෙරළබඩ ප්‍රදේශ හරහා අද (26) දින 0300 UTC පමණ වන විට කේන්ද්‍ර ගතව පැවතුණි.

එය බටහිර - නිරිත දෙසට ගමන් කර හෙට (27) 0000UTC දක්වා සුළි කුණාටුවේ තීව්‍රතාවය පවත්වා ගැනීමට බොහෝ දුරට ඉඩ ඇති බව දැනුම් දී තිබේ.

පහත සිතියමේ 'Advisory' කාණ්ඩය යටතේ ලකුණු කර ඇති මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත තද වැසි ඇතිවන අතර, සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) දක්වා වැඩි වීමත් සමග එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.

පහත සිතියමේ 'Warning' කාණ්ඩය යටතේ ලකුණු කර ඇති මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත තද වැසි ඇතිවන අතර, සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 70 දක්වා වැඩිවීමත් සමග එම මුහුදු ප්‍රදේශ ඉතා රළු වේ.

එබැවින් මෙම මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු ධීවර සහ නාවුක කටයුතු වලින් වැළකී සිටින ලෙස දැනුම් දෙනු ලැබේ. මේ වනවිට එම ප්‍රදේශයේ ධීවර කටයුතු වල යෙදී සිටී නම් එම මුහුදු ප්‍රදේශ වලින් ඉවත්වන ලෙසත් උපදෙස් දී ඇත.

ධීවර සහ නාවික ප්‍රජාවන් මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා සිටියි.