ජනපති සහ මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන් අතර සාකච්ඡාවක්

ජනපති සහ මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන් අතර සාකච්ඡාවක්

November 26, 2025   08:34 pm

ආර්ථික සංවර්ධනය ඉලක්ක කර ගත් මහාමාර්ග පද්ධතිය සංවර්ධනය කිරීමේදී පුහුණු මානව සම්පතක වැදගත්කම රජයක් ලෙස පිළිගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. 

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන් සමඟ අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකට එක් වෙමිනි. 

පසුගිය වසර කිහිපය තුළ මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන් රට හැරයාම හේතුවෙන් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී රජයක් ලෙස ගැටලු රැසකට මුහුණ දුන් බව පිළිගත් ජනාධිපතිවරයා රටේ ආර්ථික ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වා ගෙන යාමට බාධාවක් නොවන පරිදි එම ගැටලුවලට විසඳුම් සෙවීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කර තිබේ. 

මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන් ලෙස මුහුණ දෙන ගැටලු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

විශේෂයෙන් අණපනත්වල පවතින ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් වසර ගණනක් ප්‍රමාද වී ඇති උසස්වීම් සහ ඉංජිනේරු ක්ෂේත්‍රය සහ මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන් අතර පවතින වැටුප් විෂමතා කෙරෙහි මෙහිදී අවධානය යොමු විය.

ඒ අනුව මෙම ගැටලුවලට කඩිනමින් සාධනීය විසඳුම් ලබාදීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බලන ලෙස ජනාධිපතිවරයා විසින් මුදල් අමාත්‍යාංශ නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත.