ASP ඕලුගල ඉන්දුනීසියාවට පැමිණි බවට පොලිසියෙන්ම පද්මේට ඔත්තුවක් දීලා
September 27, 2025 07:28 pm
කෙහෙල්බද්දර පද්මේ හා කමාන්ඩෝ සලින්ත ඇතුළු අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල ඉන්දුනීසියාවට පැමිණ ඇති බව කෙහෙල්බද්දර පද්මේට පොලිසියෙන්ම ඔත්තුවක් ලබාදී ඇති බවට අනාවරණ වී තිබේ.
මේ පිළිබඳ ව හෙළිවී ඇත්තේ සිදුකරමින් පවතින විමර්ශන අතරතුරදීය.
මේ අතර කෙහෙල්බද්දර පද්මේ අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා නිකුත් කර තිබූ රතු වරෙන්තුව ද මෙරට පොලිසිය හරහාම ඔහු වෙත ඔත්තුවක් ලෙස ලබාදී ඇති බවත් වාර්තා වේ.
කෙහෙල්බද්දර පද්මේ සහ කමාන්ඩෝ සලින්ත ඇතුළු අපරාධකරුවන් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගැනීම සඳහා දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරිණි.
ඒ දෙරටේ ආරක්ෂක අංශ ඒකාබද්ධ වෙමිනි.
මෙහෙයුම සඳහා මෙරටින් එක්වූ නිලධාරීන් ඉන්දුනීසියාවේදී දැඩි කැපකිරීම් සිදුකරමින් දින ගණනක් පුරා වෙහෙසී ක්‍රියාකළ බව නොරහසකි.
ඕලුගල මහතා දින කිහිපයක සිට නොමැති බව දරුන් නැමැති අපරාධකරුට පොලිසියෙන් දැනුම්දී ඇති බවත් ඔහු ඕලුගල මහතාගේ දුරකථන අංක ඔස්සේ අයි.පී. අංකය පරීක්ෂා කර ඇති බවත් වාර්තා වේ.
අනතුරුව දරුන් නමැත්තාට හෙළිවී ඇත්තේ, ඕලුගල මහතා ඉන්දුනීසියාවට ගොස් ඇති බවය.
ඒ අනුව මේ පිළිබඳ සැලවූ කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත හා කුඩු නිලංග එතෙක් රැඳීසිටි හෝටලයෙන් සිට පලාගොස් ඇති බව ද විමර්ශනවලදී අනාවරණ වී ඇත.
මේ අතර කෙහෙල්බද්දර පද්මේ අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා නිකුත් කර තිබූ රතු වරෙන්තුවේ ඡායාරූපයක් කෙහෙල්බද්දර පද්මේගේ ජංගම දුරකථනයේ තිබී හමුවූ බව පොලිසිය සඳහන් කළේය.
පොලිස් ආරංචි මාර්ග පවසන්නේ පොලිසියේ සිටින ඇතැම් දූෂිත නිලධාරීන් කෙහෙල්බද්දර පද්මේ පාර්ශ්වය සමග සමීප සබඳතා පවත්වමින් මෙලෙස ඔවුන්ට ඔත්තු ලබාදී ඇති බවය.