ජනපති ජපානයට ළඟා වෙයි
September 27, 2025 06:04 pm
ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (27) පෙරවරුවේ ජපානයේ, ඔසාකා නුවර පිහිටි කන්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා විය.
එහිදී ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමතා, ජපානයේ සිටින ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ජනක් කුමාරසිංහ යන මහත්වරු සහ ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු විසින් ජනාධිපතිවරයාව හරසරින් පිළිගනු ලැබීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (27) වන දින සිට 30 වන දා දක්වා ජපානයේ නිල සංචාරයක නිරත වේ.
අද දිනයේ ජපානයේ ඔසාකාහි පැවැත්වෙන “එක්ස්පෝ 2025” ශ්‍රී ලංකා දින සැමරුමේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වීමට නියමිත අතර ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව මෙම උත්සවය සංවිධානය කරනු ලබයි.
සිය සංචාරය අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා හමු වීමට නියමිත අතර, ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා මහතා සහ ජපාන ආරක්ෂක අමාත්‍යවරයා, විදේශ කටයුතු අමාත්‍යවරයා, ආර්ථික, වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යවරයා ඇතුළු ප්‍රධාන පෙළේ අමාත්‍යවරු කිහිප දෙනෙක් හමු වී ද්වී-පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිතය.
එමෙන්ම, ශ්‍රී ලංකා සහ ජපාන වාණිජ මණ්ඩල ඒකාබද්ධව ටෝකියෝහිදී සංවිධානය කර තිබෙන ශ්‍රී ලංකා ආයෝජන සංසදය සඳහාද ජනාධිපතිවරයා සහභාගී වනු ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු එක්ව සිටී.