නා උයන ආරණ්‍ය සෙනසුනේ අනතුර ගැන විධිමත් විමර්ශනයක් කරන්න - අධිකරණයෙන් නියෝග
September 25, 2025 08:09 pm
කුරුණෑගල මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසන භූමිය තුළදී ඩක්කුවක් කඩා වැටීමෙන් භික්ෂූන් වහන්සේ හත් නමක් අපවත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මහව මහෙස්ත්‍රාත්වරිය පන්සියගම පොලීසියට නියෝග කර තිබේ.
සිද්ධියට අදාළ විමර්ශන සඳහා යාන්ත්‍රික ඉංජිනේරුවන්ගේ සහාය ලබාගන්නා ලෙසටද මහව මහෙස්ත්‍රාත් කංචනී අභිමානී සෙනෙවිරත්න මෙනවිය පන්සියගම පොලීසියට නියෝග කර ඇති බව 'අද දෙරණ' වාර්තාකරු පැවසීය.
මෙම අනතුරින් අපවත් වූ භික්‍ෂූන් වහන්සේගේ මෘත දේහ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණ පවත්වා ඊට අදාළ වාර්තා වෙන් වෙන් වශයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය කුරුණෑගල ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට ද නියෝග කර තිබේ.
ඩක්කුවක් කඩා වැටීමේ ක්‍රියාවලියේදී යම් අපරාධමය වරදක් සිදු වී ඇත්ද යන්න පිළිබඳ විමර්ශනවලදී අනාවරණය වන්නේ නම්, ඒ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසද පන්සියගම පොලීසියට මහව මහෙස්ත්‍රාත්වරිය නියෝග කර ඇති බව සඳහන්ය.
මහව මහෙස්ත්‍රාත්වරිය මෙසේ නියෝග කරනු ලැබුවේ නා උයන ආරණ්‍ය සේනාසන භූමිය තුළදී පීලි මතින් දිවෙන ඩක්කුවක් හදිසියේ කඩා වැටීමෙන් ආරණ්‍ය සේනාසනවාසීව සිටි භික්ෂූන් වහන්සේ හත් නමක් අපවත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පන්සියයගම පොලීසිය 'බී' වාර්තාවක් මගින් අධිකරණයට කළ කරුණු දැක්වීම සැලකිල්ලට ගනිමින්ය.
මේ අතර මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසනයේ සිදුවු අනතුරින් අපවත් වී වදාළ විදේශීය ස්වාමීන් වහන්සේගේ අදාහන පූජෝත්සව කටයුතු මෙරටදී සිදුකිරීම පිළිබඳ අවධානය යොමුව ඇති බව බුද්ධශාසන සහ ආගමික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතා පවසයි.
අද පාර්ලිමේන්තුවේ දී ඔහු පැවසුවේ අනතුරින් අපවත් වූ සියලු ස්වාමීන් වහන්සේගේ ආදාහන පූජෝත්සව කටයුතු අද පැවැත්වෙන කමිටු රැස්වීමකින් අනතුරුව තීරණය කරන බවය.